රවිරාජ් ඝාතන නඩුවට එරෙහි පෙත්සම යළි කැඳවයි

රවිරාජ් ඝාතන නඩුවට එරෙහි පෙත්සම යළි කැඳවයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන 30 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සම අද (10) අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා දැනට රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන අතර ඔහුට මේ දක්වා නොතීසි බාර දීමට නොහැකි වී ඇති බව එහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ විත්තිකරුට නොතිසි බාරදීම සඳහා කල් ලබාදෙන මෙන්ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා සිදු කළ ඉල්ලීම  සලකා බැලූ අභියාචනාධිකරණය ඒ සදහා අවස්ථාව ලබා දෙමින් පෙත්සම ජනවාරි මස 30 වනදා කැඳවීමට නියම කර ඇත.

රවිරාජ් ඝාතන නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබියදී එය ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය නීතියට  පටහැණි බව පෙන්වා දෙන පෙත්සම්කාරිය අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණ ජූරි සභාවක් විසින් දුන් තීන්දුව අහෝසි කර ඔවුන් වරදකරුවන් කරන ලෙස සිය පෙත්සමින් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn