මහ බැංකුවේ ලියාපදිංචි නොකළ නීති විරෝධී මූල්‍ය සමාගමක් වන එන්ට්‍රස්ට් ලිමිටඩ් සමාගමේ මුදල් තැන්පත් කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන මූල්‍ය වංචා හමුවේ දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරලයේ සමූපකාර සමිතියේ ඉඩම් හා වාහන වෙන්දේසි කිරීමට සමූපකාර කොමසාරිස්වරයා විසින් තාවකාලිකව පත් කර සිටින සභාපතිවරයා විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ සඳහා පුවත්පත් දැන්වීම් පවා පල කර තිබේ.
මෙම සමූපකාර සමිතියේ 2012 වසරේ සිට ගෙවුනු වසර කිහිපය ඇතුළත රුපියල් කෝටි 59ක මූල්‍ය වංචාවක් සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරලයේ සමූපකාර සමිතිය හා තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය පසුගිය 2018 ජූලි 04 වෙනිදා නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක්ද ගොනු කර ඇත.
මෙම මුදල් වංචාව සිදු කිරිමට අදාළ නීති විරෝධී එන්ට්‍රස්ට් ලිමිටඩ් සමාගම මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ සොහොයුරෙකු වන චානුක රත්වත්තේ මහතා එවකට විධායක අධ්‍යක්ෂක ධුරය හෙබවූ සමාගමකි.
සමූපකාරයක් සුතු දේපල පොදු දේපලක් වන අතර ප්‍රශ්නගත මෙම අවස්ථාවේ අදාළ දේපල කොමසාරිස්වරයෙකු විසින් පත් කළ තාවකාලික සභාපතිවරයෙකුට මෙසේ වෙන්දේසි කිරීමට ඇති බලය අභියෝගයට ලක් කරමින් සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරලයේ සමූපකාර සමිතිය හා තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය විසින් අද (19) දින බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා වෙත පැමිණිලි කර තිබේ.










