දරුවනි; හෙට ඔබට රට වෙනස් කළ හැකියි

දරුවනි; හෙට ඔබට රට වෙනස් කළ හැකියි

“පසුගියදා රූපවාහියෙන් පාර්ලිමේන්තුවේ සිදුවීම් පෙන්වන විට මෙම දරුවන් සිතන්න ඇති අපි මන්ත්‍රිවරු කියලා හඳුන්වන මහත්වරු හැසිරෙන්නේ මෙහෙමදද කියලා. නැහැ පුතේ, දුවේ අධ්‍යාපන සුදුසුකමක් නොපෙන්වා යමෙක් යම් තනතුරකට පත්ව ආවිට ඇති වන තත්ත්වයයි එයින් පෙනුණේ. අද පහේ ශිෂ්‍යත්වය සමත්වූ ඔබට හෙට එම තත්ත්වය වෙනස් කරන්න හැකිවේවි” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වරාය අධිකාරියේ සමුපකාර සංගමය විසින් එහි සාමාජිකයන්ගේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවනට ශිෂ්‍යාධාර සහ තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වෙමිනි. මෙම උත්සවය පසුගියදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්විය.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවැසීය.

“රූපවාහිනිය නැරැඹීම පිළිබඳව වැඩිහිටියන් සහ මවුපියන් දරුවන්ට ඔවදන් දෙන විට කියන්නේ බොළඳ ටෙලි නාට්‍ය නොබලා ප්‍රවෘත්ති සහ පාර්ලිමේන්තු සිද්ධීන් වැනි ජීවිතයට යමක් එක් කරගත හැකි වැඩසටහන් පමණක් නරඹන්න කියලායි. එහෙත් ඔක්තෝබර් විසි හය (26) පාර්ලිමේන්තු සභාවාරය රූපවාහිනියෙන් නැරැඹූ දරුවන්ට ඉන් වැඩදායී දෙයක් නරඹන්න හැකිවුණේ නැහැ. දරුවනි ඔබ, ගෞරව නාමයෙන් හඳුන්වන මන්ත්‍රිවරු එදා හැසිරුණේ කොහොමද? ඔබ එදා දුටුවේ පාර්ලිමේන්තු දේපළ එහි මන්ත්‍රිවරුන් කඩා බිඳ දමන අයුරු නේද?

පාර්ලිමේන්තුවේ කථානායක අසුනේ දුරකථනය පිටතට ගෙන එහි රැහැන් කඩා දමා පාර්ලිමේන්තුවේ ගෘහ භාණ්ඩ විනාශ කරන අයුරු නේද? මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ දුවේ, පුතේ ඔබටම පමණයි. මෙවර පහේ ශිෂ්‍යත්වය සමත්ව අද තිළිණ ලබා ගන්නා ඔබටම තමයි එය කළ හැක්කේ. පාර්ලිමේන්තුව කියලා රටේ උත්තරීතර සභාවට යන අයගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමක් අද අපේ රටේ නීතිය අනුව සිදුවන්නේ නැහැ. එවිට උගත්කමක් නැති එහෙත් මිනිසුන්ගේ ඡන්දය කපටිකමින් ලබා ගත හැකි පිරිසක් තමයි පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. එහෙත් පාර්ලිමේන්තු එවිය යුත්තේ බුද්ධිමතුන් පිරිසක් පමණයි.

ඉන්දියාවේ අබ්දුල් කලාම් මහතා එරට සාමාන්‍ය පවුලක සාමාජිකයෙක්ව ඉපිද රටේ ඉහළම තනතුර වන ජනාධිපති තනතුර දක්වා පැමිණියේ හොඳින් අධ්‍යාපනය ලබා ඉන් රටට සහ ජනතවගේ සුබසිද්ධියට සේවයක් කළ නිසායි. මේ ලෝකය වෙනස් කළ සෑම පුද්ගලයෙක්ම හොඳින් අධ්‍යාපනය ලබූ අයයි. අධ්‍යාපනය හොඳින් ලැබූවකු යමක් කිරීමට ප්‍රථමව ඒ පිළිබඳව දෙවරක් සිතනවා. පාසල් සිසුන් වූ ඔබත් යමක් කිරීමට පෙර දෙවරක් සිතන්නේ නම් වැරැදි සිදුවෙනවා අඩුයි. අධ්‍යාපනයෙන් පෝෂණය වූ විට තමාට පමණක් නොව තම අසල්වැසියාටද අයහපතක් සිදුවන දේ සිදු කරන්නේ නැහැ. අන්න ඒ නිසායි මිනිසකු පළමුව අධ්‍යාපනයෙන් සන්නද්ධ විය යුතු බවට ලෝක මතයක් පවතින්නේ. රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දොර නූගත් සහ අධ්‍යාපනයෙන් හික්මවීමක් නොලද පිරිසට වැසුණේ නම් පාර්ලිමේන්තුවේ පසුගියදා සිදුවූ අයහපත් සිදුවීම් සිදු නොවන්න ඉඩ තිබුණා.

වරාය අධිකාරියේ සමුපකාර සංගමය සිදුකරන මේ ශිෂ්‍යත්ව ප්‍රදානය උත්තම ක්‍රියාවක් වනුයේ මින් මෙරට සමාජයට පිවිසෙන බුද්ධිමත් සිසුනට ඔවුන්ගේ ඉදිරි දිවියට නවමු මංපෙත් විවර කරදීමක් සිදුවන නිසයි. රටේ පුරවැසියන් දැනුමෙන් සන්නද්ධ කිරීමට සිදු කරනා කවර ක්‍රියාවක් වුවද ඒ රටේ ජනතාවගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් සිදුකරනා උත්තම ක්‍රියාවක් වෙනවා. වරාය අධිකාරියේ සමුපකාර සංගමය වාර්ෂිකව සිදු කරන මේ ශිෂ්‍යාධාර සහ තිළිණ ප්‍රදානය උත්තම සත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකියි.”

බොරලැස්ගමුව – නිඳුවර අබේසිංහ (මව්බිම)

Facebook
Twitter
LinkedIn