සමූහ මිනිවළේ කාබන් පරීක්ෂාවට සාම්පල් තෝරයි

සමූහ මිනිවළේ කාබන් පරීක්ෂාවට සාම්පල් තෝරයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් ‍සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම ඊයේ (18) සිට ආරම්භ කළ බව මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ කැලණිය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපිට අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකරන බවයි.

අස්ථි කොටස් සාම්පල හයක් කාබන් පරීක්ෂාවට යොමුකිරීමට නියමිත බැවින් සමූහ මිනිවළ භූමියේ ස්ථාන හයකින් අස්ථි සාම්පල ලබාගැනීමට නියමිත අතර මේ වනවිට අස්ථි කොටස් සාම්පල දෙකක් ලබාගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කරයි.

අනෙකුත් අස්ථි කොටස් සාම්පල අද (19) දිනයේ ලබා ගැනීමට නියමිත අතර කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්