ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබේ.
2008 – 2009 පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් හෙවත් නාවික හමුදාවේ හිටපු කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තාට වරෙන්තු නිකුත්කර තිබිය දී සැඟව සිටීමට ආධාර අනුබල ලබා දීම රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව පවතින චෝදනාව වේ.
සිද්ධියට අදාල නඩු විභාගය අද(28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණය භාරයට ගෙන තිබේ. ඒ මීට ඉහත අවස්ථා කිහිපයකදීම ඔහු අධිකරණය මගහැර සිටීම හේතුවෙනි.
තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු වන අද්මිරාල්වරයාට ඇප ලබාදුනහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා පැමිණිය හැකි බවට තමන්ට පෙනීයන බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. එසේම මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තම අධිකරණය මීට පෙර අවස්ථා දෙකකදී වරෙන්තු නිකුත් කර ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව නැත්තේ විවිධ බලපෑම් නිසා බව පෙනීයන බවයි.
එසේම සැකකාර අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා විසින් සිද්ධියට අදාල නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරයෙකු වන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට පසුගිය 26 වනදා නාවික හමුදා මූළස්ථානය තුලදී තර්ජනය කර බලපෑම් සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව ද විමර්ශන ආරම්භ කරන ලෙස අධිකරණය කොටුව පොලීසියට නියෝග කර තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දෙසැම්බර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සළසාදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.










