රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුලු 4 දෙනෙකුට එරෙහිව පවතින නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය හමුවේ අද(28) කැඳවූ අතර ඊට අදාල වැඩිදුර සාක්ෂි විභාගය හෙට(29) දින දක්වා කල් තැබීමට විනිසුරුවරුන් නියෝග කර ඇත.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් “හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා” නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
සිද්ධියට අදාලව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තවේන්තුවේ හිටපු නියෝජ්‍ය සමාගම් රෙජිස්ටාර්වරයෙකු වන සිසිර කුමාර මහතා ද සාක්ෂි ලබා දී තිබේ.
නඩුවට අදාල සෙසු විත්තිකරුවන් වනුයේ පියදාස කුඩාබාලගේ ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයවලුන්ය.
විනිසුරුවරුන් ලෙස සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් කටයුතු කළේය.










