ගුරු හා විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවයට මේ වනවිට වසර 21ක් ගත වී ඇති නමුත් මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් මෙම ගැටලුව විසඳීමට කටයුතු කර නැති බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේ ය.
ඒ අනුව මෙම ගැටලුව පිළිබදව කරණු පෙන්වා දෙමින් අගෝස්තු 30 ජනාධිපතිවරයාටත් සැප්තැම්බර් 25 ඔහු විසින් පත්කළ විශේෂ වැටුප් කොමිෂන් සභාවටත් ලිඛිතව දන්වා සිටි බවත් මේ සම්බන්ධව අදාළ ආයතන විසින් ඒ සදහා ඉදිරි කටයුතු කරමින් සිටින බව දන්වා ඇති නමුත් පැහැදිලි විසදුමක් මෙතෙක් ලැබී නැති බවත් ඔහු මෙහිදී පැවසීය.
එමෙන්ම 1997දී මෙම සේවාවන්ට ඇතිකළ වැටුප් විෂමතාව ඉවත්කර දීප ව්‍යාප්ත සේවාවන්ට අදාළ වැටුප් පරිමාණයන් වහා ලබා දෙන ලෙසත්, 2008.07.01 දින සිට ක්‍රියාත්මක නව සේවා ව්‍යවස්ථා මගින් අහිමි කර ඇති මාස 30ක මිලියන 6000ක් පමණ වන හිග වැටුප් වහා ගෙවන ලෙසත්, ගුරුවරුන්ට පාසලේ පන්ති කාමර ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට බාධා කරන කොළ පිරවීම් ඇතුළුව ජනාධිපති කාර්ය සාධන බලකායේත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙත්, පාසල් සංවර්ධන ක්‍රියාමාර්ගයේත්, අමතර වැඩ ඉවත් කරන ලෙසත්, ඒ සඳහා කාර්ය මණ්ඩල බදවා ගන්නා ලෙසත් බල කරන බවත් මහින්ද ජයසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒ අනුව මීට ඇහුම්කන් නොදෙන්නේ නම් මේ වනවිටත් ජනාධිපතිවරයාට භාරදීමට ගුරුවරුන්, විදුහල්පතිවරුන් අත්සන් කරමින් තිබෙන පෙත්සම එළැඹෙන දෙසැම්බර් 03 වැනිදා භාරදීමට පැමිණෙන බවත් ඔහු මෙහිදී පැවසීය.
2019 පළමු පාසල් වාරය ආරම්භවු වහාම දිවයිනේ අධ්‍යාපන කොට්ඨාශ මුල්කරගනිමින් 300කට අධික උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්. අනතුරුව ඊට ද ඇහුම්කන් නොදෙන්නේ නම් දැවැන්ත උද්ඝෝෂණවල සිට වැඩවර්ජනයක් දක්වා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මහින්ද ජයසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.










