අද රටේ ඇතිවෙලා තිබෙන තත්වය ගැන ඔබ සංවිධානය දකින්නේ කොහොමද ?
අද වෙනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් එල්ල වෙලා. පසුගිය කාලය තුළ වූ සිදුවීම් දෙස බලන විට හැඟී යන්නේ ජනාධිපතිවරයා තමන්ගේ බලතල අනිසි ලෙස භාවිතා කරලා ඉතාම කුමන්ත්‍රණකාරී සහ අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන බවයි. මේ තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වුණු විශාලම තර්ජනය. ජනතාව තමන් පත්කර යැවූ නියෝජිතයන් පිළිබඳව අද ඇත්තේ ලැජ්ජාවක්. මේ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව කල්තියා දැකලා, එ් ගැන රට තුළ විශාල සංවාදයක් ඇති වූ නිසා තමයි මෛත්‍රීපාල ජනාධිපතිවරයාට මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියටත්, මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවුයේ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු දෙන්න. පසුගිය කාලය තුළ විධායකයේ බලතල සීමා කරන්න යම් යම් අණපනත් ගෙනාවත් ජනාධිපතිවරයා විසින් එ් සියල්ල පසෙකලා තමන්ට ව්‍යවස්ථාවෙන් සැබෑ ලෙසම පැවරී නොමැති බලයක් පාවිච්චි කරමින් මේ අනීතික ක්‍රියාවලියට අතගහලා තියෙනවා. අවසානයේදී අද මුළු රටම අර්බුධයකට හෙළලා ජනාධිපතිවරයා පසෙකට වී සුව සේ බලා ඉන්නවා. ඇත්තටම අද මේ රට දෙකොන පත්තු වූ විලක්කුවක් වගෙයි.
මේ තත්ත්වය වෙනස් කරන්න සංවිධානයක් විදිහට මොනවද කරන්න යන්නේ ?
අපි දැනටමත් මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කළා. ඒ වගේම අපි දරන ස්ථාවරය තමයි මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන කෙනා රටේ අගමැතිවරයා ලෙස පත් විය යුතුයි. එසේ නොමැති නම් භාරකාර රජයක් දක්වා යා යුතුයි කියන එක. එහෙම නොවී, තව දුරටත් මේ අර්බුදය දිගින් දිගටම පැවතුනොත් මේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුවට එරෙහිව පාරට බැහැලා ජනතාව දැනුවත් කරන්න වුණත් අප සූදානම්. ඒ වගේම ජනතාවගෙනුත් අපිට ඉල්ලන්න තියෙන්නෙ මේ තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.
මෙහෙම තත්ත්වයක් තුළ මහමැතිවරණයකට අවතීර්ණ වුණොත් ඒ ගැන දරන ස්ථාවරය කුමක්ද ?
ඇත්තෙන්ම මේ තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළ මැතිවරණයක් වුණත් පැවැත් වීමේ ඉඩකඩක් තියෙනවා. එහෙත් එවැනි ඡන්දයක් පැවැත්වෙන තුරු තිබෙන කැබිනට් මණ්ඩලයට තමන් සතු බලය අයතා ලෙස පරිහරණය කිරීමට ඉඩක් නිර්මාණය වෙනවා. එ් අනුව මාධ්‍ය ආයතන, වාහන, රාජ්‍ය දේපළ සහ නිළධාරීන් යනාදි සියල්ල අයුතු ලෙස අවභාවිතා කිරීමේ ඉඩක් තියෙනවා. එය මහින්ද රාජපක්ෂට වාසි වුවත්, රනිල් වික්‍රමසිංහට වාසි වුවත් ඉතාම අසාධාරණ තත්ත්වවක්. ඉතිහසය පුරාම එවැනි වැරදි ක්‍රියා මේ රටේ දේශපාලනය තුළ සිද්ධ වුණා. මහජනතාවගේම දේපළ අවභාවිතා කරමින් මහජනතාවගේම ඡන්දය නිතිවිරෝධී ලෙස මංකොල්ල කන්න එමඟින් උත්සහ කරනවා. ඒ නිසා ඉදිරියේදී සිදුවීම් පෙළගැසෙන ආකාරය අනුව ඒ සෑම තත්ත්වයක් තුළම ජනතාවගේ පාර්ශවය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සංවිධානයක් ලෙස අපි අපේ උපරිමයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
උපුටාගැනීම – දේශපාලන සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කලාකරුවෝ සංවිධානයේ අනුරුද්ධ ජයසිංහ මහතා සමග ලංකා පුවත්පත් සිදු කළ සම්මුඛ සාකච්ඡාව…










