ලක්සිරි ගලගමගේට පහරදීම ගැන ගැන විමර්ශන අරඹයි

ලක්සිරි ගලගමගේට පහරදීම ගැන ගැන විමර්ශන අරඹයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු මැර පිරිසක් විසින් නාවික හමුදා මූලස්ථානයේදී ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහරදීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සී.සී.ටී.වී කැමරා පට පරීක්ෂා කර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එම මැර ප්‍රහාරය එල්ලවූ දිනම ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා විසින් කොටුව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

පාසල් සිසුන් ඇතුළු තරුණයන් එකොළොස් දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට සැගවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්ෂි ලබාදී ඇත්තේ මෙම ලුතිනන් කමාන්ඩර් ගලගමගේ මහතා ය.

ලුතිනන් කමාන්ඩර්වරයා කොළඹ කොටුව පොලිස් ස්ථානයට පැමිණ සිදුවීම ගැන වාර්තා කළ විට පොලිස් ස්ථානාධිපතිවරයා ඒ මොහොතේම සිදුවීම වූ ස්ථානයට ගොස් ඇතත් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයට ඇතුලුවීමට ඉඩ දී නැත.

ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන්නැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නාවික හමුදාපතිවරයාට මීට පෙර ලිඛිතව දැනුම්දීමක් කර ඇත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී සෙනෙවිරත්න මහතා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ක්‍රියාකාරිත්වය වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට බරපතල තර්ජනයක් බව සඳහන් කරමින් පොලිස්පතිවරයාට පසුගියදා ලිපියක් යොමුකර ඇත.

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනා පැහැරගෙන යාම සම්බන්ධ නඩුවට අදාළව ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා විසින් සාක්ෂි ලබාදීමෙන් පසු ඔහුට ජීවිත තර්ජන පවා එල්ලවී ඇතැයි මීට පෙර අධිකරණයටද කරුණු අනාවරණය කර ඇත.

මිට පෙර හම්බන්තොට වරායේ පැවති සේවක වර්ජනය ආවරණය කිරීමට ගිය මාධ්‍ය වේදියෙකුට පහරදීහට කටයුතු කළේද එකල නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාය.

Facebook
Twitter
LinkedIn