ගෝඨා ඇතුළු 07කට එරෙහි කෞතුකාගාර නඩු දෙසැම්බර් 04 කල් යයි

ගෝඨා ඇතුළු 07කට එරෙහි කෞතුකාගාර නඩු දෙසැම්බර් 04 කල් යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබුණද එය  අවලංගු කර විත්තිය ඉල්ලා සිටි ලේඛන නිසි පරිදි ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා එදින කැඳවන මෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ඒ අනුව එම නඩුව යළි දෙසැම්බර් මස 04 වන දා කැඳවා තිබේ.

මෙම නඩුව අද (27) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ  ප්‍රායෝගිකව ලබාදිය හැකි ලේඛන බොහොමයක් විත්තිය වෙත ලබාදීමට තමන් කටයුතු කර ඇති අතර ලේඛන කිහිපයක් පමණක් ලබාදීමට නියමිතව ඇති බව සඳහන් කර තිබේ.

විත්තිය ද ඒ බව පිළිගත් අතර සෙසු ලේඛන ලැබෙන තුරු නඩු විභාගය කල් තබන ලෙසයි විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව දෙසැම්බර් මස 04 වන දා නඩුව විභාග කිරීම සඳහා ගෙන තිබූ තීරණය අවලංගු කළ අධිකරණය එදිනට විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන නිසි පරිදි  ඔවුන් වෙත ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවන මෙන් නියෝග කර ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික  ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

Facebook
Twitter
LinkedIn