(දෙවන සංස්කරණය) තමන්ට අද (27) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කිසිදු දැනුම් දීමක් කර නැතැයි කියමින් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැරිමට කටයුතු කර තිබේ.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට සැගවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව චෝදනා එල්ල වේ.
ඔහුව ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගත හැකි බවද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
කෙසේ නමුත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි නීතිපති දේපාර්තමේන්තුව වෙත ගොස් ඇත.
මීට පෙර මෙම සිද්ධියේම සැකරුවෙක් ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප ලබා සිටින නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක මහතා ද අත්අඩංගුවට ගැනීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා සිටියදී එම දෙපාර්තමේන්තුවට යාම මග හැර නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් තිබිණි.
කෙසේ නමුත් පසුව ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.










