මන්නාරම සමූහ මිනී වළේ කැනීම් 105 වන දිනට යළි අරඹයි

මන්නාරම සමූහ මිනී වළේ කැනීම් 105 වන දිනට යළි අරඹයි

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළෙහි කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත 105 වන දිනට අද (27) ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අනාවරණය කරයි.

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සමූහ මිනිවළෙහි කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ජර්මානු තානාපති ඇතුළු කාර්යාල නිලධාරීන් පිරිසක් අද සහභාගිවීමට නියමිත බවද වාර්තා වේ.

අදාළ සමූහ මිනිවළෙහි කැනීම් තුළින් වර්තමානය දක්වා මිනිස් සිරුරු 235කට අදාළ අස්ථි කොටස් හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 229කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිව ඇති බවයි.

කැනීම් මඟින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද පැවසේ.

සමූහ මිනිවළ තුළින් කුඩා දරුවන් 17 දෙනෙකුගේ ශරීරවල කොටස් හමුවි ඇති අතර අදාළ අස්ථි කොටස් ෆ්ලෝරිඩාවේ රසායනාකාර පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් වන අවසර ලබා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කරන බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්