ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන සිද්ධියට අදාලව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පැය 4කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
නාමල් කුමාර නැමැත්තෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදුකරන අතර ඔහු සිද්ධියට අදාල හඬ පට කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ.
එම සිද්ධියට අදාලව ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය භාරව සිටි නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම පරීක්ෂණයට අදාලව මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු, පොලිස් අධිකාරීවරු දෙදෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරු ඇතුළු පොලීසියේ විශාල පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කෙසේ වෙතත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බවද වාර්තා වේ.
සිද්ධියට අදාල විමර්ශන කටයුතු අතරතුර ත්‍රස්තවිමර්ශන අංශයේ තිබූ ස්වංක්‍රිය ගිනිඅවි දෙකක් නීත්‍යානුකූල නොවන ආකාරයට පිටතට ගෙනගොස් යලි ගෙනඒමේ සිද්ධියක් සම්බන්ධව ද අනාවරණය වූ අතර ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ද සිදුකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.










