ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අනුමත කළ නීතිඥ සංගමයේ සභාපති සමාව ඉල්ලයි

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අනුමත කළ නීතිඥ සංගමයේ සභාපති සමාව ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර් 26 වනදා සිට ගනු ලැබූ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අනුමත කරමින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවලට අදාළව වරද පිළිගනිමින් ඔහු ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම සමාව ඉල්ලීම පිළිබඳ 20,000ක් පමණ වන ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සියළුම සාමාජිකයින්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටද සභාපතිවරයා එකඟවී ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීමක් නොකැඳවීමටද තීරණය වු බව වැඩිදුරටත් වාර්තාවේ.

කොළඹ අලුත්කඩේ පිහිටි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ ශ‍්‍රවණාගාරයේදී නීතීඥ සංගමයේ විධායක සභාව සහ නීතීඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් සමඟ පැවැත්වු සාකච්ඡාවකින් පසුව එම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව අතරතුර ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් බවද නීතීඥ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාවන් සාධාරණීය කරමින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීම නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙන්ම සභාපතිවරයා නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි අන්දමින් කටයුතු කරන හෙයින් ඔහුගේ කටයුතු සහ ක‍්‍රියාකලාපයන් හෙළා දැකීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්නැයි නීතීඥ සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් එහි ලේකම් කෞෂශල්‍ය නානායක්කාර මහතාට ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn