දේශපාලන කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වී මාසයක් ගත වී තිබුණද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රසාදායට අනුව කිසිදු විදේශ රටකින් මෙතෙක් ඔහුට නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ එවා නොමැත.
ඔක්තෝබර් 26දා කුමන්ත්‍රණයෙන් අගමැති ධුරයට පත්වීමෙන් පසු, 27 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් හා රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විදේශ රටවල් හා තානාපති කාර්යාල නිල වශයෙන් දැනුවත් කිරීම ආරම්භ කළ අතර ලංකාවේ චීන තානාපතිවරයා හා පාකිස්තාන මහ කොමසාරිස්වරයා පමණක් මහින්ද රාජපක්ෂ මහතා හමු වී සුභ පැතුම් එක්කර තිබිණි. එහෙත් එම රටවල් දෙකද නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ මෙතෙක් එවා නැත.
සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සම්බන්ධකම් පවත්වන රටක ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත් වූ විට නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ නිකුත් කරන අතර, ඒවා මාධ්‍යටද නිකුත් කරයි. මෙයින් පෙනී යන්නේ කිසිදු රටක් අත්තනෝමතික ලෙස අගමැති ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ නිල වශයෙන් පිළිගැනීමට මෙතෙක් කටයුතු කර නැති බවයි.
ලංකාවේ චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණද, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කෑන්ග් මහතා මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මිත්‍ර රටක් ලෙස තමන් අවධානයෙන් සිටින බවයි. සාකච්ඡා මගින් ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි තම රට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකවරයා පවසා තිබිණි.
පාකිස්තාන මහ කොමසාරිස්වරයා මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණද, මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙරට දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශවයන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය. එම නිවේදනයේ අගමැති ධුරය පිළිබඳ කිසිදු සඳහනක් වූයේ නැත.
බුරුන්ඩි රාජ්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් සුභ පැතුම් එක්කර ඇති බව රූපවාහිනී මාධ්‍ය කිහිපයක් වාර්තා කළ අතර, එහිදී කිසියම් විදේශීය පුද්ගලයකු පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙනු පෙන්වනු ලැබිණි. එහෙත් බුරුන්ඩි රාජ්‍යයේ තානාපති කාර්යාලයක් ලංකාවේ නොමැති අතර, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි එරට තානාපති කාර්යාලයේ සිටින්නේ කාන්තා තානාපතිනියකි. එම සුභ පැතුම් ප්‍රවෘත්තිය මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කණ්ඩායම විසින් ගොතන ලද්දක් බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.










