ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාගේ අභියාචනය ගැන තීන්දුවට දින දෙයි

ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාගේ අභියාචනය ගැන තීන්දුවට දින දෙයි

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දී ඇති නියෝගයකට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකවන් 04 දෙනා ඉදිරිපත් කර තිබෙන අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 02 වනදා ප්‍රකාශ කරන බව එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබ ඇත.

2014 වසරේ පෙබරවාරි මස පළමු වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇත.

එම නඩුව අද (30) කැඳ වූ අවස්ථාවේදි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 23 වනදා මෙම අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව සදහන් කර තිබේ.

මෙම නඩුවට සූදානම්වීමට සඳහා අවශ්‍ය ලේඛන ලබා දෙනමෙන් විත්තිය විසින් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දුන් නියෝගයක් පිළිබඳව ඔවුන් අතෘප්තියට පත්වීම නිසා එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ මහතා සඳහන් කර ඇත.

මේ හේතුවෙන් අධිකරණ සංවිධාන සංශෝධන පනතේ දොළොස් වන වගන්තිය යටතේ මෙම අභියාචනා බාර ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තුරු  මෙම නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙසත් ජනාධිපති  නීතිඥ ගාමිණී මාරපන මහතා විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා මෙවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට නීතිමය හිමිකමක් නොමැති බව සඳහන් කර ඇත.

මේ හේතුවෙන් අදාළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 02වන දා ප්‍රකාශ කරන බවට නියෝග කර ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn