ඇවන්ගාඩ් නඩුව 2019ට කල් යයි

ඇවන්ගාඩ් නඩුව 2019ට කල් යයි

ගාල්ල වරායේ ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව 2019 වසරේ පෙබරවාරි මස 26 වනදා දක්වා කල් දැමීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (30) නියෝග කර ඇත.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් එය දෙසැම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන බවත්ය.

මේ හේතුවෙන් නඩු විභාගය සඳහා දීර්ග දිනයක් ලබා දෙන මෙන් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව නඩුව නැවත පෙබරවාරි මස 26 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කර ඇත.

2012 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අවසර ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන අයද නම්කර ඇත.

මෙම නඩුවේ විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ ව විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඇය නොමැති ව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn