කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය පාරවල් කාපට් කිරීම සඳහා, පසුගිය පාලනය මඟින් රුපියල් මිලියන 66ක් වැය කර මිලදී ගත් කාපට් කිරීමේ යන්ත්‍ර 6න්, 4ක් විකුණා දැමීමට කඩුවෙල මහ නගර සභාවේ වත්මන් පාලක මණ්ඩලය වන මහින්ද පිලේ කණ්ඩායම විසින් කටයුතු කරමින් සිටිනබව කඩුවෙල නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා අනාවරණය කරයි.
කඩුවෙල මහ නගරසභාවේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා මේ බව අනාවරණය කර සිටියේය.
පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ නිර්දේශය මත එවකට පැවැති පාලන සභාව මඟින් 2016.04.26 වැනි දින මිල දී ගත් කාපට් කිරීමේ යන්ත්‍රවලින් 4ක්, 2018.09.05 වැනි දින පුවත්පත් දැන්වීමක් පළකර විකිණීමට සූදානම් වන බවද වර්තමාන පාලකයින් සභාවේය දේපළ විකිණීම දැඩි සේ හෙළා දකින බවද අසිත නිරෝෂණ මහතා කීය.
පාරවල් කාපට් කිරීම පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී එමඟින් කොමිස් මුදලක් ලබාගෙන මන්ත්‍රීවරුන් සතුටු කිරීම මෙහි යටි අරමුණ බවද අසිත නිරෝෂන මහතා හෙළි කළේ ය.
වර්තමාන පාලකයන් වරිපනම් බදු මුදල 9% දක්වා වැඩි කර ඇති බවද රනාල, හබරකඩ වැනි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මෙය දරාගත නොහැකි කාරණයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව තවමත් 8%ක් වරිපනම් බදු අය කරන අතර බොරලැස්ගමුව 6%ක් බව ද පෙන්වා දුන්නේය.
නිවාස 705කින් යුත් ජයවඩනගම නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් සඳහා වූ සමිති ශාලාව පෞද්ගලික උත්සව ශාලාවක් ලෙස කුලියට දී ඇති බවද නිවාස සංකීර්ණයේ දරුවන්ට හා වැඩිහිටියන්ට මෙයින් අසාධාරණයක් සිදු වී ඇති බවද අසිත නිරෝෂණ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
නාගරික මන්ත්‍රී සාන්ත ජාගොඩආරච්චි මහතාද මෙහි දී අදහස් පළ කළ අතර කඩුවෙල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ගයන්ත රුක්ෂාන්, දමයන්ති බාලසූරිය, ඉන්දු සේනාරත්න යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.










