අපහාස කළැයි මෛත‍්‍රීට එරෙහිව නලින්දගෙන් නඩුවක්

අපහාස කළැයි මෛත‍්‍රීට එරෙහිව නලින්දගෙන් නඩුවක්

මහ බැංකු බැදුම්කර ගනුදෙනුකරුවන්ගෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මුදල් ලබාගත්තා යැයි ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තියක් පසුගිය කාලයේ මාධ්‍යවල නිතර ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් බවට පත්ව තිබිණි. ඒ මොහොතේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇති බවත් ප‍්‍රකාශ විය. නමුත් එම නම් ලැයිස්තුව කිසිම මොහොතක ප‍්‍රසිද්ධියට පත් නොවුණි.

එම මොහොතේ නීතිඥ මෛත‍්‍රී ගුණරත්න විසින් ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ද පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබාගත්තා යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශයක් කළේය. එම ප‍්‍රකාශයත් සමඟ  ජවිපෙ නීතිඥයින් මාර්ගයෙන් මෛත‍්‍රී ගුණරත්නට එරෙහිව එන්තරවාසියක් යවන ලදී. එමෙන්ම එම චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි ජවිපෙ විසින් ඔහුට අභියෝග කරන ලදී. නමුත් මේ වනතෙක් මෛත‍්‍රී ගුණරත්න විසින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොට නොමැත.

කෙසේ වෙතත් එම මොහොතේත් ජවිපෙ නායකයින් කියා සිටියේ “මේ හඬ මෛත‍්‍රීගේ වුවද අත අනෙක් මෛතී‍්‍රගේ” කියාය. මන්ද මෛත‍්‍රී ගුණරත්න මේ වනවිට සේවය කරන්නේ කාටදැයි මුළු රටම දන්නා කරුණක් නිසාය. මේ හේතුව නිසා තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් කොළඹ දිස්ත‍්‍රික් අධිකරණයේදී රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩුවක් ගොණු කිරීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස තීරණය කර තිබේ. එය නඩුකර දෙකක් වශයෙන් ලබන සඳුදා(22) දිනයේදී උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්