ඊයේ (18) පැවති මහින්ද පිලේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විවිධ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න අසනවිට මාධ්‍ය ආයතනය කුමක්දැයි විමසා එම මාධ්‍යවේදියා අපහසුතාවයට පත්වන අයුරින් හැසිරෙමින් අවසානයේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජී.එල් පීරිස්, විමල් වීරවංස, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස එම මාධ්‍ය හමුවෙන් ඉවත්ව ගොස් තිබේ.
වත්මන් අධිකරණය ස්වාධීනව කටයුතු කරන්නේ යැයි මහින්ද රාජපක්ෂ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇති අතර රාජපක්ෂ පාලනසමයේ අධිකරණයේ තත්වය ගැන එහිදී මාධ්‍යවේදීන් විමසා ඇත. එයට පිළිතුරු දීමේදී මදක් ප්‍රකෝප වන ස්වභාවක් දක්නට ලැබී ඇති අතර හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහ කළ ආකාරය ගැනද එහිදී මාධ්‍යවේදීන් විමසා තිබේ. එහිදී තව දුරටත් කෝපයට පත්වන මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රශ්නය නැගූ මාධ්‍යවේදියාගෙන් විමසා ඇත්තේ තමන්ගේ මාධ්‍ය ආයතනය කුමක්ද යන්නයි.
එහිදී තමන් ජාතික රූපවාහිනියේ යැයි පැවසූ විට විශ්‍රාමික ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ “ජාතික රූපවාහිනිය අපිට මඩ ගහනවා” යැයි කියමින් එම මාධ්‍යවේදියා අපහසුතාවයට පත්කරමිනි.
ඉන් පසු මාධ්‍යවේදීන් ඩොලරයේ වැටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විමසා සිටින විට මාධ්‍ය සාකච්ඡාව අවසන් යැයි පවසමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉන් පිටව ගොස් තිබේ.









