ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් මේ මස 23 වනදා කොළඹදී පවත්වනු ලබන ජනතා විරෝධතාවය සඳහා මේ රටේ සමස්ත තරුණ ප්‍රජාවගේම සහාය ලැබෙන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා, බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසී ය.
අද (19) පැවති එම මාධ්‍ය හමුවේදී දැක්වූ සම්පූර් පහතින් පල වේ.
“අපේ රටේ තරුණ තරුණියන්ට හීන බොහොමයක් තිබෙනවා. මේ රටේ පාලකයෝ තරුණ තරුණියන්ගේ හීන වෙන්දේසි කරලා හැමදාමත් බලයට ඇවිත් කළේ ඔවුන්ගේ හීනවලට පිටුපස හැරවීම පමණයි. එහෙම කප් ගහපු කෙනෙක් තමයි රනිල් වික‍්‍රමසිංහ කියන්නේ. මීට කලින් තරුණ තරුණියන්ට කිව්වේ චුයිංගම් දෙනවා, බ්‍රේස්ලට් දෙනවා කියලා. පහුගිය මැතිවරණයේදී රනිල්-මෛත්‍රී දෙන්නා ඒ විදිහටම තරුණ තරුණියන්ගේ සිහින වෙන්දේසි කරලා බලයට ඇවිත් ඔවුන්ට පස්ස හැරෙව්වා. රැකියා දශ ලක්‍ෂයක් දෙනවා කිව්වා. නොමිලයේ වයි-ෆයි දෙනවා කිව්වා. තරුණ තරුණියන්ගේ හිස් සාක්කු පුරවනවා කිව්වා. ඒ විදිහට හීන ලාබෙට වෙන්දේසි කරලා දැන් ඔවුන්ගේ පාඩුවේ ඔවුන්ගේ ගමන යනවා. තරුණ සංගමය විදිහට අපි මේ ආණ්ඩුවේ කි‍්‍රයා කලාපය හෙළා දකිනවා.
මේ වෙනකොට අපේ රටේ රැකියා විරහිත ප‍්‍රමාණය ලක්‍ෂ 35ක් පමණ වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා උපාධිධාරීන් 60,000ක් පමණ රැකියා නැතිව ඉන්නවා. සියලු දෙනාට රැකියා දෙනවා කියලා කියපු ආණ්ඩුව 4053කට පමණක් පහුගියදා රැකියා දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ ප‍්‍රමාණය හරි දිනා ගත්තේ තරුණ තරුණියන් උදඝෝෂණ, අරගල කරලා. නමුත් දැන් රැකියා ගත්තට පස්සේ වර්තමාන ආණ්ඩුව අරුම පුදුම සූත‍්‍රයක් පාවිච්චි කරලා ඒ පිරිසත් රැකියාවලින් දොට්ට දාන්න කටයුතු කරමින් ඉන්නවා. රැකියා දුන්නු 4,053 දෙනා නැවත ඉන්ටවීව් කරන්න කියලා ජාතික ප‍්‍රතිපත්ති හා ආරථික කටයුතු අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට ලියුම් යවලා තිබෙනවා. එම සම්මුඛ පරීක්‍ෂණවලදී රැකියාලාභීන් බාහිර උපාධිධාරීන්ද වයස අවුරුදු 35 ඉක්මවලාද කියලා නැවත සලකා බලන්න උපදෙස් දීලා තිබෙනවා. රැකියා දෙන දවසේ අරලියගහ මන්දිරයට ආපු උපාධිධාරීන් 60 දෙනෙකු රැකියා ලබා නොදී ඒ මොහොතේම හරවා යවා තිබුණා. ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය තරුණ තරුණියන්ට ඛේදවාචකයක් වෙලා තිබෙනවා. දැන් ආණ්ඩුව කියන්නේ විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට පමණක් රැකියා ලබාදෙන්න කැබිනට් තීරණයක් අරගෙන කියලා. බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. මේ විදිහට තරුණ තරුණියන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ආණ්ඩුවකට පුළුවන්ද? ඇතැම් තරුණ තරුණියන් එක්ක කතාබහ කරද්දී අපට දැනෙන දේ තමයි ඔවුන් සියදිවි නසාගැනීමට තරම් ගැඹුරු කලකිරීමක ඉන්න බව. වයස 35 පහුවීම හෝ බාහිර උපාධියක් ගැටලු තිබීම තරුණ තරුණියන්ගේ වරදක් නොවේ. ඒවාට වගකිව යුත්තේද ආණ්ඩුවයි. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ තරුණ තරුණියන්ගේ ජීවිත සමඟ කරන මේ සෙල්ලම නතර කරන්න කියලා. රොකට් ෆිල්ම් හදන විජේදාස රාජපක්‍ෂ අධ්‍යාපන ඇමතිවරයාත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත් මේ ප‍්‍රශ්නයට වගකිව යුතුයි. අපි ඔවුන්ට අවධාරණය කරනවා මේ තීරණය හකුළා ගන්න කියලා. එසේ නොමැතිනම් මේ ගැටලුවට මුහුණ දෙන සියලුම බලවේග සමග ආණ්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න සමාජවාදී තරුණ සංගමයත් බාහිර උපාධිය සුරැකීමේ සංගමය ඇතුළු සියලු බලවේග සමග සටන් ක්‍රියාමාර්ගවලට යන්න අපි සූදානම්. ඒ වගේම අපේ රටේ තරුණ තරුණියන්ට කියනවා, මේ ආණ්ඩුවේ බොරුවලට තවදුරටත් රැවටෙන්නේ නැතිව අයිතීන් දිනාගන්න සටන් කරන්න අපි සමග එක්වෙන්න කියලා. ආණ්ඩුවේ වුවමනාව වෙලා තිබෙන්නේ අපේ රටේ තරුණ තරුණියන්ට ලැබෙන බාහිර උපාධියත් අහිමි කරලා දාන්නයි.
ආණ්ඩුවේ අනෙක් බොරුව තමයි ෆ්‍රී වයි-ෆයි දෙන කතාව. තාක්‍ෂණ දැනුම දියුණු කරන්න පාසල්වලට ටැබ් දෙනවා කිව්ව, තාක්‍ෂණ නගර හදනවා කිව්වා, නමුත් අද ඉතිරි වෙලා තිබෙන්නේ ෆ්‍රී වයිෆයි බෝඩ් ලෑල්ල විතරයි. නොමිලේ වයිෆයි දෙනවා කිව්වට ආණ්ඩුව අද දුරකතන බිලෙන් 49.73%ක බද්දක් අයකර ගන්නවා. රුපියල් 100ක ඩේටා කාඩ් එකක් දැම්මාම රුපියල් 44ක බද්දක් ආණ්ඩුව අයකර ගන්නවා. නිෂ්පාදන ක්‍රියාවලියක් නැති ආණ්ඩුව ආදායම් හොයන්නේ මේ විදිහට බදු ගහලයි.
ඡන්ද කාලයේදී ආණ්ඩුව කතා කළේ තෙමි තෙමී බයිසිකලේ යන තරුණ තරුණියන්ට කාර් එකක් ගන්න ආර්ථිකය හදනවා කියලයි. ඒ වෙනුවට අද වෙලා තියෙන්නේ මොකක්ද? රුපියල් ලක්‍ෂ එකහමාරට-දෙකට තිබණු යතුරු පැදිය ලක්‍ෂ තුන හමාරක් බවට පත්වෙලා. ලක්‍ෂ හතර හමාරටක පමණ තිබුණු ත්‍රී වීලරය ලක්‍ෂ හත හමාරක්-අටක් බවට පත්වෙලා. යතුරු පැදිය තිබෙන තරුණ තරුණියන්ටත් ඉන්ධන මිල දරාගන්න බැරිව යතුරු පැදිය ගෙදර තියලා පයින් යන්න සිදුවෙලා තිබෙනවා. නොතෙමී යන්න කාර් එකක් ගන්න හිටපු තරුණ තරුණියන්ට දැන් සිදුවෙලා තියෙන්නේ කුඩයක් ඉහලගෙන යන්නයි. මංගල ඇමතිතුමාගේ අරුම පුදුම තෙල් සූත‍්‍රයෙන් රටේ තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් පීඩාවට පත්වෙලා තිබෙනවා. ඊයේ දිනයේ මංගල ඇමතිවරයා විසින් අරුම පුදුම මිල සූත‍්‍රයක් එළියට දැම්මා. මීට පෙර ඛනිජ තෙල් පොදු සේවා සංගමය තොරතුරු දැනගැනීමේ පනතට අනුව මිල සූත‍්‍රය ලබා දෙන්න කියලා ලිඛිත ඉල්ලීමක් කළා. නමුත් මංගල ඇමතිවරයා පිළිතුරු ලෙස එවා තිබුණේ තොරතුරු පනතට අනුව මිල සූත‍්‍රය දෙන්න බැහැ කියලයි. එහෙම කියපු ජනමාධ්‍ය ඇමති තොරතුරු පනතට කොකා පෙන්නලා මිල සූත‍්‍රය එළියට දානවා. ඒ වගේම මේ මිල සූත‍්‍රය නිසා තවත් ගැටලුවක් පැන නගිනවා. මේ නිවැරදි මිල සූත‍්‍රයක් නම් මිල වැඩිවීමේදී අපේ රටේ භාවිතා කරන ප‍්‍රධාන ඉන්ධන වර්ග පහටම බලපාන්න ඕනෑ. නමුත් ඇතැම් අවස්ථාවලදී භූමිතෙල්වල, සාමාන්‍ය ඩීසල්වල, මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද කියලා මංගල ඇමතිවරයා රටට පැහැදිලි කළ යුතුයි. ඒ වගේම අපිට තියෙන තොරතුරු අනුව මංගල ඇමතිවරයා ඊයේ ඉදිරිපත් කළේ ඇත්ත මිල සූත‍්‍රයක් නොවෙයි. තෙල් සංස්ථාවේ කොටස් අයි.ඕ.සී. සමාගමට විකුණන අවස්ථාවේදී ආණ්ඩුව සහ අයි.ඕ.සී. සමාගම අතර අත්සන් කරන ලද ගිවිසුමේ මිල තීරණය වන සූත‍්‍රය තමයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ නිසා මෙය මංගල ඇමතිවරයාගේ ප්‍රෝඩාකාරී සූත‍්‍රයක් බව ඉතාම පැහැදිලියි. මිල සූත‍්‍රය පිළිබඳව රටේ ආන්දෝලනයක් ඇතිවුණාට පස්සේ කරගන්න දෙයක් නැතිව ඉදිරිපත් කරපු කෙබර සූත‍්‍රයක් පමණයි.
ඒ වගේම මේ වෙනකොට රටේ ප‍්‍රබල ප‍්‍රශ්නයක් විදිහට මත්කුඩු ජාවාරම හිස ඔසවලා තිබෙනවා. අපේ රටේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ලොක්කා වගේ තමයි මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ. එක වෙලාවක කිව්වා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලන්න ඕන කියලා. නමුත් හැමදාමත් වාගේ ජනාධිපතිතුමාගේ විසිල් තිබුණට බල්ටි පේන්න නැහැ. එල්ලුම් ගහ ගෙනාව පමණින් මත්ද්‍රව්‍ය ජාවාරම් නවත්වන්න බැහැ. අපේ රටේ සිදුවන අපරාධවලින් 40%ක්ම සිදුවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් නිසයි. නමුත් එම ජාවාරම් පාලනය කරන්න ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නැහැ. අපේ රටේ පාසල්වලට මත්පෙති වර්ග ව්‍යාප්ත වෙලා. සිසුන් පමණක් නොව ශිෂ්‍යාවන්ද මත්පෙතිවල ඇබ්බැහි වෙලා. ගුරුවරුන් කියන්නේ පන්ති කාමරවල ඉන්න ළමයි මත්පෙති භාවිත කොට වෙනම ලෝකවල ඉන්න බවයි. මෙතරම් ව්‍යසනයක් වෙලා තිබියදී ජනධිපතිවරයාටවත් අධ්‍යාපන ඇමතිවරයාටවත් මේ පිළිබඳව කිසිදු අවධානයක් නැහැ.
මේ ආණ්ඩු මාරුවෙන් මාරුවට වසර 70ක් තිස්සේ තරුණ තරුණියන්ගේ හීන එක්ක සෙල්ලම් කළා. රටේ තරුණ තරුණියන්ගේ හීන හැබෑ කරනවා වෙනුවට පාලකයින්ගේ තමන්ගේ දරුවන්ගේ හීන හැබෑ කරලා දෙන්න තමයි ඔවුන් කටයුතු කළේ. පහුගිය ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්‍ෂ කටයුතු කළේ නාමල් බේබිගේ හීන හැබෑ කරලා දෙන්නයි. අද සිදුවෙලා තිබෙන්නේ නාමල් බේබිගේ තැනට චතුරිකා බේබි පැමිණීමයි. පොළොන්නරුවේ දිස්ත්‍රික් ලේකම් ඉල්ලා අස්වෙන්නේ චතුරිකා බේබිගේ බලපෑම නිසයි. ජාතික රූපවාහිනියේ, අයි.ටී.එන්. ආයතනයේ ඉහළ නිලධාරීන්ට චතුරිකා බේබිගේ බලපෑම් එල්ල වෙනවා. හැමදාමත් වුණේ පුද්ගලයින් මාරු වීම පමණයි. පුද්ගලයින් මාරු වූ පමණින් රට වෙනස් වෙන්නේ නැහැ.
සමාජවාදී තරුණ සංගමය ලෙස අපේ රටේ තරුණ තරුණියන්ට කියනවා හැමදාමත් මේ පාලකයින්ගේ ටොෆීවලට රැවටෙන එක නතර කරමු කියලා. හැමදාමත් තරුණ තරුණියන්ගේ හීන එක්ක සෙල්ලම් කරන ප්‍රෝඩාකාරී ආණ්ඩුව පළවා හරින්න සැබෑ ජනතා විරෝධයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ ජනතා විරෝධය විනෝදයක් බවට පත්කරගත යුතු නැහැ. පහුගිය කාලයේ නාමල් බේබිව පුම්බන්න ජනතා විරෝධයක් කළා. නමුත් ඒක අවසන් වුණේ විනෝදයක් බවට පත්වෙලා. සමහරු හිටියේ කාණු ගානේ. එනිසා විනෝදයක් බවට පත්කරගන්නා ජනතා විරෝධයන් වෙනුවට ජනතාවගේ සැබෑ විරෝධය ආණ්ඩුවට එරෙහිව දියත් කරන්න තරුණ තරුණියන්ගේ හීන හැබෑ කරගන්න සැබෑ විරෝධයකට එක්වෙන්න ඕනෑ, ඒ වෙනුවෙන් ලබන 23වැනිදා කොළඹට එක්වෙන සියලු ප‍්‍රගතිශීලී බලවේග සමග ජනතා විරෝධය ශක්තිමත් කරන්න සමාජවාදී තරුණ සංගමයත් බාහිර උපාධිය සුරැකීමේ සංවිධානය ඇතුළු රටේ තරුණ තරුණියන් එක්වෙනවා. ඒ වගේම රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා ආණ්ඩුවට එරෙහි තමන්ගේ විරෝධය පළ කරන්න 23වැනිදා කොළඹට එන්න කියලා.”
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…
“ආණ්ඩුව ගෙනත් තිබෙන එන්ට‍්‍රප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන කියන්නේ ප්‍රෝඩාකාරී සන්දර්ශනයක් පමණයි. එම ව්‍යාපෘතිය මගින් හඳුන්වාදී තිබෙන ණය ලබාදීමේ ව්‍යාපෘතිය ප්‍රෝඩාකාරී දේවල්. ඒ මගින් තරුණ තරුණියන්ට ණය ලබා ගැනීම පහසු කාර්යයක් නොවෙයි.
අපේ රටේ වර්තමාන ජනාධිපති උත්සාහ කරමින් ඉන්නේ පරාජිත මහින්ද රාජපක්‍ෂ සමඟ හෝ එක්වී තමන්ගේ ඊළඟ ජනාධිපති සිහිනය සැබෑ කරගන්නයි. අගමැතිවරයා උත්සාහ කරමින් ඉන්නේ ඊළඟ තමන් බලයට පත්වෙන්නේ කොහොමද කියලා. මේ දෙදෙනාම දූෂිතයින් එක්ක ගනුදෙනු කරනවා. ජනාධිපතිවරයා තමන්ව අඩි 06ක් වළ පල්ලට දානවා කියපු පරාජිත කණ්ඩායමත් එක්ක එක්වෙලා ආණ්ඩු හදන්න සාකච්ඡා කරනවා. මේ උත්සාහයන් ඇතුළේ දූෂිතයින්ට දඬුවම් කිරීම දියාරු ක්‍රියාවලියක් බවට පත්වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මේ දියාරු ක්‍රියාමාර්ග නිසා දූෂිතයින් නීතියට අභියෝග කරමින් සිටිනවා. එදා ජනතා දේපළ හොරකම් කරපු දූෂිතයින් හොරු ඇල්ලුවේ නැහැ කියලා ආණ්ඩුවට කෝචොක් කරනවා.
මෙම මාධ්‍ය හමුවට සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම්, බාහිර උපාධිය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, මහේෂ් අඹේපිටිය, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ, ජාතික කමිටු සාමාජිකා නිපුනා සාරංගි යන මහත්ම මහත්මීන්ද සහභාගි වී සිටියහ.”











