අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන සැරයන් සනත්ට සාධාරණය ඉල්ලා ප්‍රදේශවාසීහු විරෝධතාවයේ

අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන සැරයන් සනත්ට සාධාරණය ඉල්ලා ප්‍රදේශවාසීහු විරෝධතාවයේ

අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ඊයේ (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයක නිරත වූහ.

ඉකුත් 29 වැනි දින බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කරන ලද ලොරියක් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනඒමෙන් පසු නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකර තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා එම රථය මුදා හැරීමට විරෝධය පලකරමින් පොලිස් ස්ථානයෙන් රැගෙන ආ ටී56 ගිනි අවියකින් වෙඩි තබාගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු සැරයන්වරයාගෙන් ගිනි අවිය මුදාගැනීමෙන් පසු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැරයන්වරයා මෙම මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

අදාල පොලිස් සැරයන්වරයා නිසිලෙස නීතිය ක්‍රියාත්මක කර තිබුණත්, පොලිස් ස්ථානාධිපතිවරයා වැලි ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවිය.

විවිධ වැකි ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණහ.

මෙම වැලි ලොරිය මහින්ද පිල නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන නිර්මලී ගුණවර්ධන මහත්මියට අයත් එකක් බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

වැලි ප්‍රවාහනයට නිකුත් කර තිබූ බලපත්‍රය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්‍යාංශය විසින් මෙම වැලි ප්‍රවාහනයට අදාළව නිකුත් කර තිබූ ලිපියත් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. කෙසේ නමුත් එම ලේඛනවලට අනුව මෙම ලොරි රථයට වැලි ප්‍රවාහය සඳහා අවසර ලැබී ඇත්තේ 2018 සැප්තැම්බර් මස 19,20,21,26 සහ 28 යන දික 05 සඳහා පමණි.

Facebook
Twitter
LinkedIn