මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ අංක තහඩු සඳහා මෙවර ටෙන්ඩර් නිකුත් කිරීමේ දී වංචාවක් සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ “රට හදන, රට රකින, ජවතාවිදී පාලනයක්” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා පවත්වනු ලබන ජනහමු දසදහසට සමගාමීව අද (07) වාරියපොළ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෝටර් රථ සඳහා ප්‍රමිතිගත අංක තහඩු සකස් කිරීමේ දී එක් අංක තහඩුවක් රුපියල් 560 කට ලබා දීමට එක් ආයතනයක් මිල ගණන් ප්‍රකාශ කර තිබිය දී රුපියල් 1,200ක මිලට අංක තහඩු ලබාගැනීමට මොටර් රථවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. අවම මිලකට අංක තහඩු ලබාගැනීමට හැකියාව තිබිය දී වැඩි මිලට අංක තහඩු ලබාගැනීම ටෙන්ඩර් පටිපාටියේ දී මුදල් වංචාවක් සිදුකිරීමක් බව මන්ත්‍රීවරයා පැවසීය.
මේ සඳහා මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව කැඳවූ ටෙන්ඩරය සඳහා ආයතන 06ක් මිලගණන් ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් අංක තහඩුවක් රුපියල් 560 කට ලබා දීමට මිල ගණන් ඉදිරිපත් කළ උක්ත ආයතනය ඇතුළු ආයතන 4ක් ප්‍රතික්ෂේප කර ඇත.










