බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මහින්දගේ සභාපති සිමෙන්ති ගල් කොල්ලයක

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මහින්දගේ සභාපති සිමෙන්ති ගල් කොල්ලයක

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ සභාපති සිරිල් මුණසිංහ, සිය සභාපති ධූරය අයුතු ලෙස භාවිත කරමින් සභාව සතුව පැවති ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් තොගයක් පෞද්ගලික පරිහරණයට ගෙන ඇතැයි එම සභාවේ මන්ත්‍රීවරු පිරිසක් අද(07) පැමිණිල්ලක් සිදුකර තිබේ.

2015 වසරේ සිට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව භාරයේ පැවති සිමෙන්ති ගල් තොගයක් සභාවේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව සභාව සතු ට්‍රැක්ටර් රථ භාවිත කරමින් සභාපතිවරයාගේ ගැටමාන්න ප්‍රදේශයේ නිවස වෙත ප්‍රවාහනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජයන්ත මුතුමාල මහතා විසින් අද පැමිණිල්ල ගොනුකර තිබේ.

සිමෙන්ති ගල් තොගය අඟුල්මඬුව පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රධානය කිරීමට ගෙනආ යෝජනාව පසුගිය දා සභාවේ සම්මත වූ අතර පසුගිය සිකුරාදා දින රාත්‍රියේ සිට එම ගල් තොගය ප්‍රාදේශීය සභාව සතු ට්‍රැක්ටර් රථ භාවිත කරමින් සභාපතිවරයාගේ නිවස වෙත ප්‍රවාහනය කර තිබේ. මේ සම්බන්ධව කළ විමසීමකදී සභාවේ ලේකම්වරයා ඇතුළු කිසිවෙකුත් සිද්ධිය සම්බන්ධව දැනුවත්ව සිට නොමැති බව ජයන්ත මුතුමාල මහතා පැවසීය.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය පරිපාලක ලෙස කටයුතු කළ චමින්ද නැමැත්තා ඉවත්කර ඒ වෙනුවට මෑතක දී පත්කර ඇති සභාපතිවරයාගේ ඥාති පුත්‍රයෙකු විසින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම ගල්තොගය ප්‍රවාහනය කළ බව සේවකයෝ පවසා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ජයන්ත මුතුමාල මහතා ඇතුළු මන්ත්‍රීවරු හය දෙනෙකු විසින් අඟුල්මඩුව පන්සලේ නායක හිමියන්ගෙන් කළ විමසීමකදී පන්සලට සිමෙන්ති ගල් නොලැබුණ බව සඳහන් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත්කරමින් මන්ත්‍රී පිරිස පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධව සාධාරණ විමර්ශනයක් සිදුකර වහාම අදාල නෛතික පියවර ගන්නා ලෙසයි.

Facebook
Twitter
LinkedIn