පසුගිය රජය සමයේ ගාලු වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාව තුළ නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අද(28) යලි දීර්ඝ කර තිබේ.
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම මගින් රුපියල් කෝටි 1140ක මුදලක් රජයට පාඩු සිදුකිරීම යන චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ඇමතිවරයා ඇතුළු 8 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
නඩුවේ චූදිතයෙකු වන හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රජපක්ෂ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් මගින් චෝදනා සම්බන්ධව තමා නිදහස් කරන ලෙස ඉල්ලා තිබුනි. පෙත්සම සළකාබැලූ අභියාචනාධිකරණය පසුගිය ජූලි මස 4 වැනිදා මුල් වරට අදාල නඩුව විභාගයට ගැනීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කළේය.
යලි එම පෙත්සම අභියාචනධිකරණ විනිසුරුවන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර ඇත.










