හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මූල්‍ය වංචා නඩුව ඔක්තෝබර් 30 සිට

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මූල්‍ය වංචා නඩුව ඔක්තෝබර් 30 සිට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු සිව්දෙනෙකු නීති විරෝධී ක්‍රියා හරහා රුපියල් කෝටි 55ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකොට ඇති බවට මුදල් විශුද්ධිකරණ පණත යටතේ පවතින චෝදනාවලට අදාල නඩු විභාගය අද(28) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අතර ලබන ඔක්තෝබර් මස 30 වැනිදා සිට අදාල නඩුව දිනපතා විභාග කිරීමට තීන්දු විය.

ඉදිරි දින කිහිපය තුළ විත්තිකරුවන් වෙත භාරදිය යුතු ලිපි ලේඛන ලබාදෙන බවට පැමිණිලි පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිුරු මඬුල්ල මෙම නියෝගය සිදු කර තිබේ.

2014 පෙබරවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.

විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන ආදිය ලැබී ඇත්දැයි දැන ගැනීම සඳහා මෙම නඩුව ලබන මස 8 වැනිදා යළි කැඳවීමටද විනිසුරු මඩුල්ල නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ සජීව ජයවර්ධන මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතාද, දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාද, තුන්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ හෙමන්ත ගමගේ මහතා සමඟ නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතාද, සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ අනුර චන්ද්‍රසිරි මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවා තිබිණි.

Facebook
Twitter
LinkedIn