මහාචාර්ය සේනක බිබිලේ 41 වන ගුණ සමරුව මෙම මස 29 වන දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වන ගුණ සැමරුම් වැඩසටහනක් සැප්. 30 දින බිබිල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පවසයි.
මහාචාර්ය සේනක බිබිලෙ අනුස්මරණ සංවිධානය ඊයේ (26) මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබූ අතර එහි කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුව අමතමින් පවසා සිටියේ අප රට මුහණ දී සිටින ඖෂධ මාෆියාවෙන් ජනතාව මුදවාගැනීමට නම් මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැගිය යුතු බවත් දැනට ආණ්ඩුව මගින් ගෙන එන ලද ඖෂධ පනත හරහා අඩු මිලට ඇති බොහෝ ඖෂධවල මිල කිහිප ගුණයකින් ඉහළගොස් ඇති බවත් ය.
මේ වන විට රෝහල් තුල ඉතා බරපතල ඖෂධ හිඟයක් ඇති බවද, ඒ වෙනුවෙන් ආණ්ඩුව ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා නිෂ්පාදන වැඩිකිරීමක් හෝ ආණ්ඩුව ඖෂධ මිල පාලනය කිරීමක් හෝ ඖෂධවල ප‍්‍රමිතිය පවත්වාගෙන යාමට කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවයි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තම සංවිධානය ආණ්ඩුවට බලකර ඇති බවත් මෙවර 41 වන මහාචාර්ය සේනක බිබිලෙ ගුණ සමරු වැඩසටහන හරහා ද මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.
මෙවර බිබිලේදී පැවැත්වෙන සමරු වැඩසටහනේදී වෛද්‍ය සායනයක් හා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනක් මෙන්ම සෞඛ්‍ය අර්බුදය පිළිබඳ “සයිකෝ” චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය හා විචාරය ක් ද පැවැත්වීමට නියමිතය.
මෙම මාධ්‍ය හමුව සඳහා සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් මහින්ද ගුරුගේ, චන්දන ජයලත්, රේණුකා ලියනගේ යන මහත්ම මහත්මීන් ද සහභාගී වී සිටියහ.










