රවීන්ද්‍ර විජේගුණරත්න ගැන තොරතුරු අනාවරණය කළ නිළධාරියාට ජීවිත තර්ජන

රවීන්ද්‍ර විජේගුණරත්න ගැන තොරතුරු අනාවරණය කළ නිළධාරියාට ජීවිත තර්ජන

පාසල් සිසුන් ඇතුළු තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම, අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නමැත්තාට රටින් පලා යාමට හිටපු නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී රැකවරණ දුන් බවට අනාවරණය කළ ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි මහතාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබි ඇතැයි එම නිලධාරීන් ඊයේ (26) කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දීමනී බැද්දේවෙල මහත්මියට දැනුම් දී තිබේ.

රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව ඉදිරි දින කිහිපය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බවද ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති, ‍පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වැඩිදුරටත් ඊයේ (26) අධිකරණයට දැනුම් දී ඇත.

2008 වසරේදී පැහැරගෙන ගිය එම තරුණයන් අතරින් පස්දෙනකු එම කාල වකවානුවේ ත්‍රිකුණාමලය ‘ගන් සයිඩ්’ කඳවුරේ රඳවාගෙන සිටි බවට එම සමයේදී තොරතුරු අනාවරණය වූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාගේ ‍ලේකම්වරයා ලෙස කටයුතු කොට විශ්‍රාම ලැබූ රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු මහතා පසුගිය 18 වැනිදා ප්‍රකාශයක් ලබාදී ඇතැයිද ‍පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා එහිදී අධිකරණයට දැනුම් දී තිබේ.

එම නිලධාරියා ඒ පිළිබඳව එම සමයේ දැනුවත්ව සිටි නමුත් රාජකාරි මට්ටමින් ඇති අවහිරතා නිසා ඒ සමයේ අනාවරණය නොකළ බවත් හෙතෙම ප්‍රකාශ කළ බවද එවකට සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෆීලික්ස් පෙරේරා මහතාගේ ඉල්ලීම මත එම නිලධාරියා එම පැහැර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දී ඇත.

එම නඩුවේ 10 වන සැකකරු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර නාවික හමුදා මූලස්ථානයේ සැඟව සිටි බව දැන දැනත් ඔහු අතුරුදන් බවට අසත්‍ය පැමිණිල්ලක් වැල්ලම්පිටිය ‍පොලීසියට කළ ඔහුගේ බිරිඳට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී  වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

සැකකරු ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නමැත්තාව ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්