2018 අයවැයේ පොරොන්දු මෙතෙක් ඉටු කර නැහැ

2018 අයවැයේ පොරොන්දු මෙතෙක් ඉටු කර නැහැ

තව මාසයකින් 2019 අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් වත්මන් ආණ්ඩුවේ පසුගිය (2018) අයවැය මගින් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකිරීමට සමත් වී නැති බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට විශ්වවිද්‍යාල තුළ සිදුවන උපාධිය මුදලට විකිණීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් මෙහිදී අනාවරණය කර සිටියේය.

අධ්‍යාපනයට ප‍්‍රමාණවත් තරම් ප‍්‍රතිපාදන වෙන් නොකරන නිසා විශ්වවිද්‍යාලවල හා පාසල්වල අර්බුද රැසක් මතුවී ඇති බවත් ආණ්ඩුව රාජ්‍ය අධ්‍යාපනය බිඳ වට්ටවමින් හා අධ්‍යාපනය විකිණීමට කටයුතු කරමින් සිටින බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රිය ප‍්‍රකාශ කර සිටියේය.


”තව මාසයකින් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත්වීමට නියමිතයි. නමුත් අපි දකිනවා පහුගිය අයවැයේදී මේ ආණ්ඩුව දුන් පොරොන්දු ගණනාවක් ඉෂ්ට කරන්න සමත්වෙලා නැති බව. ඒවගේම ආණ්ඩුව මේ වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ උපාධි විකිණීමට වැඩපිළිවළක් ක‍්‍රියාත්මක කරමින් යනවා. පසුගිය දශක කිහිපය පුරාම අපේ රටේ ආණ්ඩුවේ මූලික වුවමනාව වුණේ නිදහස් අධ්‍යාපනය රැකගන්නවා වෙනුවට අධ්‍යාපනය පුද්ගලීකරණය කරන එක. විශේෂයෙන්ම 1977න් පස්සෙ ආණ්ඩු නිදහස් අධ්‍යාපනයට වෙන්කල ප‍්‍රතිපාදන කප්පාදු කරමින් ඒ සඳහා වූ බර දෙමාපියන් හා ශිෂ්‍යයන් මත පටවමින් තිබෙනවා. ආණ්ඩුව අධ්‍යාපනය පුද්ගලීකරණය කීරීම සඳහා ක‍්‍රම කිහිපයක් අනුගමනය කළා. ඉන් එකක් තමයි පුද්ගලික අධ්‍යාපන ආයතන බිහිකරන එක. මුලින්ම ජාත්‍යන්තර පාසල් හා පුද්ගලික පාසල් නමින් අධ්‍යාපනය විකුණන්න කටයුතු කළා. ඒ වගේම රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පාඨමාලා පුළුල් කරනවා වෙනුවට සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් යොදාගනිමින් පුද්ගලික විශ්වවිද්‍යාල හරහා උසස් අධ්‍යාපනය විකුණන්න කටයුතු කළා.

අධ්‍යාපනය විකුණන්න පුද්ගලික ආයතන හදනවා වගේම අධ්‍යපනයේ වුවමනාව පුද්ගලික දෙයක් බවට පත්කළා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කරද්දි අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීමක් වුණා. ඕනෑම රටක රාජ්‍ය වගකීමක් තමයි ජනතාවට අධ්‍යාපනය ලබාදීම. නමුත් ලංකාවේදී අධ්‍යාපනය ලබාගැනීම ජනතාවගේ වගකීමක් බවට පත්කර ආණ්ඩුව නිදහස් වෙන්න උත්සාහ කරනවා.
ලෝකයම පිළිගත් නිර්ණායකය වන්නේ අධ්‍යාපනය සඳහා ද.දේ.නි 6%ක් වෙන්කිරීම. මුල් කාලයේදී ලංකාවේත් 6%කට ආසන්න මුදලක් වෙන්කළත් පසුකාලීනව එය 1.6% දක්වා අඩුකළා. විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනගිය දැවැන්ත අරගලය නිසා අපට පුළුවන් වුනා මේ ප‍්‍රතිශතය 3% දක්වා ඉහළ දමාගන්න. නමුත් අයවැයෙන් වෙන්කළාට ඒ මුදල් වියදම් නොකර ආපහු භාණ්ඩාගාරයට ගෙන්වාගන්න ආණ්ඩුව කටයුතු කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පහුගිය දශක කිහිපය පුරාම අපේ රටේ සාක්ෂරතාවය ඉහල ගිහින් තියෙන්නේ 1%කින් විතරයි. 1977දී මාලදිවයින 81%ක සාක්ෂරතාවයක් තියාගෙන ලංකාවට පිටිපස්සෙන් සිටියේ. මේ වෙනකොට සමාජ ආර්ථික ප‍්‍රශ්න ගොඩක් තිබියදීත් මාලදිවයිනේ සාක්ෂරතාවය 99% ඉක්මවද්දී අපි 92.6%ක රැදී ඉන්නවා. 1980දී 74%ක සාක්ෂරතාවක් තිබුණු බ‍්‍රසීලය 2015 වෙනකොට ලංකාවේ මට්ටමට සාක්ෂරතාව ඉහල නංවාගෙන තියෙනවා. ණයබර වැඩිම රටක් වුණ බ‍්‍රසීලය 6%කට ආසන්න මුදලක් අධ්‍යාපනයට වෙන්කරන නිසා ලංකාවේ ණය බර නිසා අධ්‍යාපනයට මුදල් වෙන්කරන්න බෑ කියන කතාව බොරු වෙලා තියෙනවා. ලංකාවට වඩා පිටිපස්සෙන් හිටපු රටවල් ගොඩක් ලංකාව පසුකරමින් අධ්‍යාපනයේ ඉහලට එමින් තියෙනවා.
දැන් ලෝකයේ අධ්‍යාපනය මනින්න සාක්ෂරතාවයට අමතරව බුද්ධි දර්ශකය සලකා බලනවා. පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ ලංකාවේ බුද්ධි මට්ටම 72-82 අතර පවතින බවයි. ඒක ඉන්දියාවටත් වඩා අඩු ගණනක්. අපි තවත් පහළට ගියොත් බුද්ධි දර්ශකයේ මන්ද බුද්ධික රටක් වෙන්න පුළුවන් කියලා එතුමිය කිව්වා. දකුණු කොරියාව මෙම දර්ශකයේ ඉහලින්ම ඉන්න රටක්. නමුත් අපි ඉස්සර කොරියාව, කොන්ඩෙ බැඳපු චීන්නු වගේ කතා හරහා මෙම කලාපයේ රටවල් ගැන පහල අදහසක් තියාගෙන හිටියේ. නමුත් ඔවුන් දැන් අපිව පහුකරලා ඉදිරියට ගිහින්. අපේ පාලකයෝ අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදු කළා වගේම එය ගුණාත්මකව පහල දාලා. ඒ හින්දම අපේ රටේ ජාතික විශ්වවිද්‍යාල ලෝකයේ පළමු 1000ට නෙවේ, පළමු 2000 අතරටවත් එන්න සමත් වෙලා නැහැ. ලංකාවේ ඉහලින්ම සිටින කොළඹ විශ්වවිද්‍යාලයත් තියෙන්නේ ලෝකයේ 2172 වන ස්ථානයේ. පේරාදෙණිය තියෙන්නේ 2249 ස්ථානයේ. මොරටුව තිබෙන්නේ 2648 වන ස්ථානයේ. නැගෙනහිර හා අග්නිදිග වගේ විශ්වවිද්‍යාල තියෙන්නේ 10,000ටත් එහා. මෙවන් තත්ත්වයක් තිබියදීත් අපේ රටේ පාලකයන් උත්සහ කරන්නේ ජාතික විශ්වවිද්‍යාලවල පාඨමාලා මුදලට විකුණන්න.


පහුගිය කාලේ මාස 3 මාස 4 පාඨමාලා විදිහට අපේ රටේ බදුගෙවන ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය විකුණන්න කටයුතු කළා. මේ වෙද්දි විශ්වවිද්‍යාල ප‍්‍රති‍්‍රපාදන කොමිසන් සභාවෙන් විදෙස් සුදුසුකම් මත ජාතික විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගන්න පොතක් නිකුත් කරලා තියෙනවා. ඒකට මිල ගණන් කැඳවලා තියෙනවා. ඒ මිලගණන් සඳහන් කරපු පත‍්‍රිකාවක් අරගෙන කොමිසන් සභාවේ සභාපතිවරයා රටවල් ගානේ පත‍්‍රිකා බෙදබෙද යන්න පටන් අරගෙන තියෙනවා. අපේ රටේ වෛද්‍ය උපාධියත් ඩොලර් 12,500ට මිලකරලා තියෙනවා. විද්‍යා, ගණිත උපාධිය වගේම මානව ශාස්ත‍්‍ර උපාධි මිලකරලා තියෙනවා. ඩොලර් 3000 සිට ඩොලර් 12,500 දක්වාම විවිධ මට්ටම්වලින් උපාධි මිල කරලා තියෙනවා.

මීට කලින් 0.5%ක ප‍්‍රතිශතයක් වෙන්කරලා තිබුණා රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු ඇතුළු විදෙස් සේවයේ නිරත වූවන්ගේ දරුවන් සඳහා. එම ප‍්‍රතිශතය 4.5% දක්වා වැඩිකරලා තිබෙනවා. විදෙස්ගත ශ‍්‍රමිකයිගේ දරුවන්ට විශ්වවිද්‍යාල පමණක් නෙවේ පාසල් අධ්‍යාපනයත් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපිත් ප‍්‍රගතිශීලි සංවිධානත් ඉන්නවා. ඔවුන් විදෙස්ගත වුනේ අපේ රට තුළදී ඔවුන්ගේ ආර්ථික ක‍්‍රියාවලියට ඉඩක් නැති නිසා. එනම් ආණ්ඩුවේ නොහැකියාව නිසා. ඒ නිසා ඔවුනේ දරුවන්ටත් අවශ්‍ය සුදුසුකම් තිබේනම් රාජ්‍ය පාසල් සහ විශ්වවිද්‍යාලවල නොමිලේ අධ්‍යාපනය හදාරන්න අවස්ථාව තියෙන්න ඕනෑ. හැබැයි මේ කරලා තියෙන්නේ ඒ අවශ්‍යතාවයට මුවාවෙලා විශ්වවිද්‍යාල සඳහා නොමිලේ බදවාගන්න ප‍්‍රමාණය 4.5%කින් කප්පාදු කරන එක හා රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුලේ උපාධි විකුණන්න හදන එක. අපි ආණ්ඩුවට කියනවා විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ දරුවන්වත් නොමිලයේ අධ්‍යාපනය ලබාගැනීම සඳහා වැඩපිළිවලක් හදන්න කියලා.

අණ්ඩුව පහුගිය අයවැයේ කියපු දේවල් කි‍්‍රයාත්මක කිරීම මගහැරලා තියෙනවා. අයවැය කතාවේ 172 වන ‍ඡේදයේ තියෙනවා වයඹ, මොරටුව හා සබරගමුව විශ්වවිද්‍යාලවල නව වෛද්‍ය පීඨ ආරම්භ කරනවා කියලා. සයිටම් අරගලය කාලයේ මතුවුණ සංවාදය මෙයට හේතුපාදක වුණා. වයඹට හා සබරගමුවට සිසුන් බ‍ඳවා ගත්තත් පීඨ බවට පත්කරන්න තරම් පහසුකම් සලසලා නැහැ. සබරගමුවට තියෙන්නේ කුළී ගොඩනැගිල්ලක් විතරයි. වයඹ ගොඩනැගිලි තවමත් ඉදිකර අවසන් නැහැ. මෙලෙස පටන්ගත්ත පීඨයකට ගිහින් අග්නිදිග ඉංජිනේරු පීඨයේ සිසුන් දුෂ්කරතා ගොඩකට මුහුුණ දුන්නා. වයඹ හා සබරගමුවට බඳවාගන්නා සිසුන්ටත් එම තත්වයට මුහුණ දෙන්න ඉඩ සලස්වන්න එපා කියලා අපි කියනවා.

මොරටුවට තවමත් වෛද්‍ය පීඨයක් හදන්න ඉඩමක්වත් අරගෙන නෑ. මොරටුව වෛද්‍ය පීඨය වෙනුවෙන් අයවැයෙන් වෙන්කරපු මුදල්වලට මොකද වුණේ කියලා අපි අහනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉඩම් හොයනවා කියමින් කල් මරනවා. අයවැයේ 174වන ඡේදයේ තියෙනවා තාක්‍ෂණ පීඨ ගණනාවක් ඉදිකරනවා කියලා. විශ්වවිද්‍යාල ස‍ඳහා සිසුන් බඳවාගැනීමට අදාල අයදුම් පත‍්‍රයේ සබරගමුව තාක්‍ෂණ පීඨයට සිසුන් බඳවාගැනීම ගැන සඳහන් වුණත් පිඨයක් නැති නිසා බඳවාගන්න බැරි වුණා. එම යෝජනාවලියේ තිබෙනවා නිරිතදිග විශ්වවිද්‍යාලයට තාක්‍ෂණ පීඨයක් ආරම්භ කරන බව. අපි උසස් අධ්‍යාපන ඇමතිවරයාගෙන් අහනවා නිරිතදිග නමින් විශ්වවිද්‍යාලයක් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා. මේකෙන් පැහැදිළි වෙනවා ඇමතිවරු අයවැය ඇතුලේ තමුන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න බොරු යෝජනාමාලාවක් දාලා තියෙන බව. අයවැයේ 184වෙනි ඡේදයේ තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සෞඛ්‍ය රක්‍ෂණයක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරන බව. අපි ආණ්ඩුවෙන් අහනවා ඒ මිලියන 100ට මොකද කළේ කියලා.


අපේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න වෙනත් රටවලින් ආධාර ලැබිලා තියෙනවා. උදාහරණයක් විදියට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පීඨ සංකීර්ණයක් ඉදිකිරීමට කුවේට් රජයෙන් ඩොලර් මිලියන 34ක ආධාරයක් වෙන්කරලා අවුරුදු 4ක් ගෙවිලා ගියත් තවමත් ඒ මුදල් අරගෙන පීඨ සංකීර්ණය හදන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.

අධ්‍යාපනයට ප‍්‍රතිපාදන කප්පාදු කිරීම නිසා රජයේ පාසල්වලට සිසුන් ඇතුළත්වීම අඩුවෙමින් තියෙනවා. මහ බැංකු වාර්තාවෙ තියෙනවා 2014 අවුරුද්දේ රජයේ පාසල් සඳහා 98.51%ක ප‍්‍රමාණයක් ඇතුලත් වෙලා තියෙනවා. එය 2015දී 97.52% දක්වා අඩුවෙලා තියෙනවා. 2016දී 95.91% බවටත් 2017දී 93.9% දක්වාත් අඩුවෙලා තියෙනවා. අපේ රටට අධ්‍යාපන ඇතිවරු ඕනි මේකටද කියලා අපි අහනවා. ඒ වගේම 2014දී විශ්වවිද්‍යාල අචාර්යවරු  5610ක් සිටියත් 2017 වෙද්දී සිටින්නේ 5498 විතරයි. අධ්‍යාපනය පුළුල් වෙනකොට ආචාර්යවරු වැඩිවෙන්න ඕනිවුණත් දැන් වෙලා තියෙන්නේ ආචාර්යවරු අඩුවෙන එක. ආචාර්යවරු ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හැරයන නිසා උසස් අධ්‍යාපනය විශාල අනතුරකට මුහුණදීලා තියෙනවා.

මේ නිසා අපි ආණ්ඩුවට බලකර ඉන්නවා අධ්‍යාපනයට අදාල ප‍්‍රතිපාදන ඉහළ දමන්න කියලා. පොරොන්දු වුණා වගේ අධ්‍යාපනයට 6%ක් වැඩිකරන්න. ඒ හරහා උසස් අධ්‍යාපන අයතනවල අධ්‍යයන හා සුභසාදන ගැටලූ විසඳන්න. ලංකාවේ ලොකුම උසස් ජාතික ඩිප්ලෝමා ආයතනය වන ලබුදූවෙ සිසුන් 3500ක් පමණ සිටියත් නේවාසිකාගාර එකක්වත් නෑ. ඒ හින්දා ඒ ප‍්‍රශ්න විසඳන්න කටයුතු කරන්න. අලූතෙන් ආරම්භ කරන්න පොරොන්දු වුණ පීඨ ඉක්මනින්ම ආරම්භ කරන්න. තාක්‍ෂණ පීඨවල පවතින ගැටලූවලට ඉක්මනින් විසඳුම් දෙන්න. බොහෝ තාක්‍ෂණ පීඨවලට තවමත් පීඨ සංකීර්ණයක් නෑ. සමහර පීඨ තියෙන්නේ කුළී ගොඩනැගිලිවල. සිසුන් වසර 10ක් විතර ගෙනගිය අරගලයකට පස්සේ අවසන් වරට මහපොළ වාරිකය වැඩිකරන්නේ 2015 අවුරුද්දේ. 2015දි අපේ රටේ ජීවනාංකය වුණේ 108.2ක්. 2018 අගෝස්තු වෙද්දී ජීවනාංකය 125.8 දක්වා වැඩිවෙලා තියෙනවා. එම නිසා වැඩිවුණ ජීවනාංකයට සාපේක්‍ෂව මහපොළ වාරිකය ඉහළ දමන්න කියලා අපි ආණ්ඩුවට බලකර සිටිනවා. විශ්වවිද්‍යාල වගේම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලටත් මහපොළ වැඩිකරන්න ඕනි. උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ට මහපොළ ලැබෙන්නේ 1500ක් විතරයි. ඔවුන්ටත් සරසවි සිසුන්ට වගේම මහපොළ වාරිකය සහ ලබාදෙන ප‍්‍රමාණය වැඩිකරන්න. ජීවන වියදම වැඩිවීමට වගකියන්න ඕනෑ ආණ්ඩුව හින්දා මහපොළ වාරිකය වැඩිකිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ ඉල්ලීම් වෙනුවෙන් අපි සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමග එක්ව ඉදිරි මාසය පුරා ජනතා දැනුවත් කිරීම්, උද්ඝෝෂණ සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන ජීවන හරිස්චන්‍ද්‍ර සහෝදරයා සහ දසුන් උදාර සහෝදරයා ද සම්බන්ධ විය.

Facebook
Twitter
LinkedIn