වන සතුන්ගෙන් කෑගල්ලේ ගොවි බිම් රැක ගැනීමට සිවිල් සංවිධාන එක්වෙයි

වන සතුන්ගෙන් කෑගල්ලේ ගොවි බිම් රැක ගැනීමට සිවිල් සංවිධාන එක්වෙයි

කෑගළු ජන අයිතීන් සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් අද(26) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට හා වගාවන්ට වන සතුන් විසින් එල්ල කරනු ලබන හානිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ  හමුවක් කෑගල්ල දිස්ත්‍රික් සණස සංගම් මූලස්ථානයේ දී පවත්වන ලදී.

එහිදී කෑගළු ජන අයිතීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ හා වගාවන්ගේ වත්මත් ස්වභාවය පැහැදිලි කරමින් කෑගළු දිස්ත්‍රික්කයේ වී වගාවේ යෙදෙන කුඹුරු අක්කර 20000 ක් පවතින බවත් පොල්, තේ , රබර් හා සුළු අපනයන භෝග වගාවේ නිරතවන බවත් සඳහන් කරන ලදී.

එහිදී වන සතුන් විසින් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ජන ජීවිතයට සහ ආර්ථිකයට විශාල හානියක් සිදුකරන බව ඒ මහතා සඳහන් කළේය.

2017 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව රිලව් ගහණය පමණක් 80000ක් වන බවත් මසකට කෑගල්ල දිස්ත්‍රික්කයේ වන සතුන්ගෙන් වගාවට වන හානිය ආර්ථික වශයෙන් මිලියන 9ක් පමණ වන බවත් වාර්ෂික ආර්ථික අලාභය රුපියල් කෝටි 10කට වඩා වැඩි බවත් 2017 වසරේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව විසින් ඉහත කී වන සතුන් පලිබෝධකයින් ලෙස නම්කර ඇති බවත් සඳහන් කළේය.

එසේම මෙකී උවදුර මැඩලීම හා ජන ජීවිතයට හා කෘෂිකර්මයට සිදුකරනු ලබන හානිය වැලැක්වීම සඳහා කෑගළු ජන අයිතීන් සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග සඳහා ලබාදිය හැකි විසඳුම් ද සාකච්ඡා කෙරිණ. එසේම දිස්ත්‍රික්කයේ පොල් වගාවට වන සතුන් විසින් කරනු ලබන හානිය විශාල එකක් බවත්, ඒ සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍ය බවත් අවධාරණය කළේය.

කෑගළු ජන අයිතීන් සුරැකීමේ සංවිධාන එකමුතුව ලෙස මෙම ගැටළුව සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇත. දිස්ත්‍රික්කයේ ජනතාව දැනවත් කිරීම සඳහා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කළ බවත් ගොවි සංවිධාන විසින් ජනතා පෙත්සමක් අත්සන් කර ඇති බවත් රත්නායක මහතා සඳහන් කළේය.

මාධ්‍ය හමුව සඳහා කෑගලු ජන අයිතීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරුවන් වන සමන්ත රනසිංහ සහ ගාමිණී රත්නායක යන මහත්වරුන් ද සමස්ථ ලංකා වතු කම්කරු සංගමේ එම්. ආර්. විජේරත්න මහතා ද මාවනැල්ල අත්තනගොඩ පැරකුම් ගොවි සංවිධානයේ ලේකම් ඩබ්. එම්. සමරකෝන් මහතා ද දෙහිඕවිට ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කෝසල නුවන් ජයවීර මහතා ද ඉසුරු කප්රුක පොල් වගාකරන්නන්ගේ සංගමයේ ලීලා සෝමවීර මහත්මිය ද එලිපත්ගමුව ගොවි සංවිධානයේ කේ. එච්. මේදිරිස් දයානන්ද මහතා ද සහභාගී විය.

Facebook
Twitter
LinkedIn