බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් විසින් අද(26) මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීය.
විරෝධතාකරුවෝ පවසා සිටියේ බාහිර උපාධිධාරීන් සම්බන්ධව රජය සිදුකරන කෙනිහිලිකම් වහා නතරකරන ලෙසයි.
බාහිර උපාධිධාරීන් බාහිර උපාධියක් ලබා ගැනීම යන්න මත පදනම්ව රැකියා ලබාදීම සඳහා නුසුදුස්සෙකු ලෙස සළකා කටයුතු කිරීම මෙන්ම රැකියා ලැබූ බාහිර උපාධිධාරීන්ට ලිපි මගින් සිය තනතුරු අවලංගු කර ඇති බව දන්වා සිටීම බරපතල ලෙස මානව හිමිකම් කඩකිරීමක් බව විරෝධතාකරුවෝ පවසති.
මේ හරහා රජය කටයුතු කරමින් සිටින්නේ බාහිර උපාධිය සඳහා යොමුවන සිසුන් අඩපන කොට එයට ස්වභාවික මරණයක් අත්කර දීමට බව බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු මහේෂ් අබේපිටිය මහතා සඳහන් කළේය. එසේම මෙය හුදු රැකියා ඉල්ලීමක් පමණක් නොව බොහෝ පිරිසකගේ අධ්‍යාපන අයිතිය ඉල්ලීමක් බවද ඒ මහතා පැවසීය.
බාහිර උපාධිධාරීන් ද උපාධිධාරීන් ලෙස සළකා කටයුතු කරන ලෙසත් බාහිර උපාධි අධ්‍යනය කිරීමට සීමා පනවමින් අනුගමනය කරන වන් ටු වන් ක්‍රමය ඇතුළත් 2016/13 චක්‍රලේකය ඇතුළු චක්‍රලේක අහෝසිකරන ලෙසත් බාහිර හා අභ්‍යන්තර උපාධිධාරීන්ට බලපාන වයස අවුරුදු 35හේ සීමාව ඉවත දමන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටයහ.
මෙම ගැටළු සම්බන්ධව වහා ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් දිවයින පුරා අසාධාරණයට පත්ව සිටින බාහිර උපාධිධාරීන් කැඳවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භකරන බව බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු මහේෂ් අබේපිටිය මහතා පැවසීය.
බාහිර උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා නොගැනීමට ගෙන ඇති අමාත්‍යමණ්ඩල තීරණය වර්ථමාන ආණ්ඩුව ගත් තවත් අමනෝඥ හා මුග්ධ තීරණයක් බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරිආරච්චි මහතා විරෝධතාවයට එක්වෙමින් පැවසීය. එසේම බාහිර හා අභ්‍යන්තර ලෙ වෙන්කොට උපාධිධාරීන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට ගෙන ඇති කූඨ ක්‍රියාමාර්ගය වහා අවලංගු කරන ලෙසත් සැමට සමාන හිමිකමක් වන රැකියාව ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම කරුණු සඳහන් කරමින් මානව හිමිකම් කොමිසමට පෙත්සමක් භාරදීමට ද බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුව කටයුතු කළේය.
















