හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඉල්ලීමක්

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඉල්ලීමක්

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධව තමාට එරෙහිව අධිකරණය විසින් නිකුත්කර ඇති වරෙන්තු නියෝගවල පිටපත් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා මෙන්ම එම චෝදනා සනාථ කිරීමට ඉදිරිපත්ව ඇති සාක්ෂි සටහන්වල ලේඛන තමාට ලබාදෙන මෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් ඉල්ලා ඇතැයි නීතිපතිවරයා අද(23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මහබැංකු බැදුම්කර වංචාවට අදාල නඩුවේ පළමු සැකකරුවන හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් විසින් සිදු කර ඇති එම ඉල්ලීමට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ මේ බව ප්‍රකාශ කළාය.

සැකකාර හිටපු මහබැංකු අධිපතිවරයා මෙතෙක් රැදී සිටින ස්ථානයක් නිරීක්ෂණය කර ඇත්දැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු ලබා දෙමින් ඇය සඳහන් කර ඇත්තේ ඔහු මේ වන විට සිංගප්පූරුවේ ඉතා රහසිගතව සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එසේම සැකකරු ඉල්ලා ඇති  ලිපිලේඛන ඔහුට ලබාදීමට ඇති හැකියාව පිලීබඳ නීතිමය කරුණු අධ්‍යයනය කරමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිගමනය මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දී තිබේ.

Facebook
Twitter
LinkedIn