සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජපන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා තෝරාගෙන පසුව අවස්ථාව නොදුන් සමෘද්ධිලාභී තරුණ තරුණියන් 21 දෙනාගේ අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් එම අධිකාරිය භාරයේ මේ වනවිට නැතැයි විශ්වසනීය ආරංචි මාර්ග කියයි.
සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ අරමුණෙන් 2017 පෙබරවාරි 13 දින පල කරන ලද පුවත්පත් දැන්වීමක් මගින් සමෘද්ධිලාභීන් දැනුම්වත් කර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් 25 දෙනෙකු තෝරාගත් නමුත් එයින් අවස්ථාව ලැබුණේ 4දෙනෙකුට පමණකි.
අඩු ආදායම්ලාභී පවුල්වල අ.පො.ස. උසස් පෙළ සමතුන් පමණක් අයදුම් කළ යුතු බවට අදාළ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබුණු අතර මෙසේ අතරමග නතර කර ඇති ශිෂ්‍යත්ව 21 නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමි, රැකියාවන්වල නිරතව සිටි හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යන කටයුතුවල නිරතව සිටි දරුවන් පිරිසක් අසරණව සිටිතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුම කළුගේ මහතා පවසයි.
සමෘද්ධි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය හිටපු සමාජ සුභසාධන ඇමැති එස්.බී දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පෞද්ගලික ආයතනයක් මගින් කළ වැඩසටහනක් බවයි.
ශිෂ්‍යත්ව ප්‍රදානයට බාධා පැමිණුනේ සිසුන්ගේ වීසා බලපත් ප්‍රතික්ෂේප වීමෙන් යැයි ද ඔවුන් සිය සහතික පත් ගැන විමසීමක් තවමත් කර නැතැයිද සමෘද්ධි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීම ගැන සොයා බලන්නැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමාජ සුභසාධන ඇමැති පී. හැරිසන් මහතාට පසුගියදා පැමිණිලිලක්ද සිදු කර ඇත.
මූලාශ්‍ර ලංකාදීප










