බස්නාහිර පළාත් සභාවේ තවත් රු.මි.37ක වංචාවක් ගැන ජවිපෙන් ‍හෙළිදරව්වක්

බස්නාහිර පළාත් සභාවේ තවත් රු.මි.37ක වංචාවක් ගැන ජවිපෙන් ‍හෙළිදරව්වක්

බස්නාහිර පළාත් සභා රැස්වීම පැවැත්වෙන සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්‍ෂක කැමරා හා ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතිය ස්ථාපිත කිරීමේදී රුපියල් මිලියන තිස්හතක වංචාවක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ හේතුවෙන් සභාව කල්තැබීමේ හදිසි ප්‍රශ්නයක් ලෙස අද (21) සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා සඳහන් කළේය.

අදාළ පද්ධතිය සවිකිරීම සඳහා රුපියල් මිලියන හැත්තෑදෙකක ටෙන්ඩරයක් ඉදිරිපත්ව තිබියදී, රුපියල් මිලියන 109ක් ඉදිරිපත් කළ ටෙන්ඩරයට එම කටයුතු ලබාදීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇතැයිද ඒ මහතා පවසා සිටියි.

මීට අමතරව මහල් 15කින් සමන්විත ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වියදම් කළ මුදල කෙතරම්ද යන්න සංඛ්‍යාලේඛන නොමැති බවත් එබැවින් අදාළ මුදල් පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරන ලෙසත් ඊයේ (20) බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පැවසීය.

ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2014 වසරේ සිට වසරින් වසර මුදල් වෙන්කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn