බන්ධනාගාර වෙඩි තැබීමේ සිදුවීමට පෙර යුද හමුදාව කැඳවීම හා ඒ ආශ්‍රිත කිසිදු තොරතුරක් ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක අංශයේ නැතැයි එහි අතිරේක ලේකම් ආර්.එම්.එස් සරත් කුමාර මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මිය අද (20) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.
ඔවුන් එලෙස ලිඛිතව දැනුම් දී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් රැඳවියන් පිරිසක් මියයෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා ගොනු කළ පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදීය.
මේ හා සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දුන් අතර ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය මේ බව අද දැනුම් දී තිබේ.
පැමිණිල්ලලේ වගඋත්තරකාර පාර්ශ්වයක් වන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැමිණ සිටියේ නැති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ උදෘත නීතිපති වෙත යොමු කර ඇති බවයි.
පොලිසියේ නීති අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද සහභාගී වීමට නියමිතව සිටියද ඔහු වෙනත් කටයුත්තකට ගොස් ඇති බව පොලියේ නීති අංශය නියෝජනය කරමින් පැමිණි පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කර ඇත.
වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉෂ්ඨ වී නැති බැවින් ඊට සාධාරණයක් ඉටු කර දෙන ලෙස කසුන් පුස්සවෙල මහතා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.
මෙම පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම මීළඟට සිදු කිරීමට නියමිතව තිබුණත් අද දින අදාළ ලේඛන නොලැබීම නිසා ලබන මාසයේ යළිත් වරක් ලේඛන කැඳවන බව කොමිසම දැනුම් දී ඇත.
ලංකාදීප










