ජේ.ආර්. ඒකාබද්ධ කළ උතුරු නැඟෙනහිර අධිකරණයට ගිහින් වෙන් කර ගත්තේ අපි

ජේ.ආර්. ඒකාබද්ධ කළ උතුරු නැඟෙනහිර අධිකරණයට ගිහින් වෙන් කර ගත්තේ අපි

ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවේ වුවමනාවට උතුර, නැඟෙනහිර ඈඳුවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා වෙන් කළේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.යට සිමෙන්තියි ආයුධයි බෙදුවා. මහින්ද කෝටි සීයකට ආසන්න මුදලක් එල්.ටී.ටී.ඊ.යට දුන්නා. හැම කෙනෙක්ම මේවා කළේ විධායකය පාවිච්චි කරලා. ජනාධිපතිවරු හැම කෙනෙක්ම රට බෙදන තත්ත්වයට ගෙනාවා මිසක රට නොබෙදා ඉන්න උත්සාහ කළේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා කුරුණෑගල මූණමල්දෙණිය ප්‍රදේශයේදී පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ මඟින් ක්‍රියාත්මක කරනු ලබන “රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් උදෙසා ජනහමු දසදහස” වැඩසටහනට සමගාමීව පැවති වැඩසටහනකට එක්වෙමින් බිමල් රත්නායක මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“මේ යුගයේ මහින්ද චින්තනෙත් තියෙනවා, මෛත්‍රි චින්තනෙත් තියෙනවා. රටේ ආර්ථිකය දුර්වල වුණාම බදු ගහලා ආණ්ඩුව ගන්නවා. මේ අල්ලපනල්ලේ මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කරන්න හදනවා. මන්ත්‍රිවරයකුට ලක්‍ෂ තුනක් වැටුප් ලැබෙනවා. ඉන්ධන මිල වැඩි වුණාම මැති ඇමැතිවරුන්ට මිල සූත්‍රය හදලා ඔවුන් මිල සූත්‍රය ගළපනවා. අවුරුදු හතළිහක් පනහක් තිස්සේ ජනතාවට ටොකු ඇනපු ආණ්ඩුවලට නම් ජනතාව ඡන්දෙ දෙන්නේ ආණ්ඩු බය වෙන්නේ නැහැ. පක්‍ෂය පැරදුණාට ආණ්ඩු වැටෙන්නේ නැහැ. මැති ඇමැතිවරු පරදින්නේ නැහැ. ජනතාවයි පරදින්නේ. හැමෝම හැමදාම හැම පක්ෂෙම ඇමැතිලා. ඉස්සර තමයි දේශපාලනඥයන්ට පක්‍ෂයක්, ප්‍රතිපත්තියක් තිබුණේ. දැන් අයට පක්‍ෂයක් ප්‍රතිපත්තියක් නැහැ. ජනතාව පන්න පන්න ඡන්දෙ දෙනවා. මේ රටේ ජනතාව තරම් වෙස්සන්තරලා ජාතියක් ලෝකයේ කොහේවත් නැහැ. හොරකම් කරන්න කරන්න හොරුන්ට ඡන්දෙ දෙනවා. දරුවන්ගෙ අධ්‍යාපනය මවුපියන්ට බරක් වෙලා.

කොළඹ පුරාම සුවපති කියලා පෝස්ටර් ගහලා නෙලුම් පොකුණෙ දැවැන්ත උත්සවයක් තියලා රාජිතට ඔටුන්න දා ගත්තා. ඒවුණාට උන්නැහේ පපුවෙ අමාරුවට බෙහෙත් ගන්න ගියේ සිංගප්පූරුවට. විශේෂ ගුවන් යානයක ගියේ. ඒවා ගෙව්වේ කවුද? එතුමාට ගිය වියදමෙන් ලක්‍ෂ සීයක් ගෙව්වෙ ජනාධිපති අරමුදලෙන්. ඒ ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවම එතුමා කිව්වා ඒක අපේ අයිතියක් කියලා. මේවා ජනතාවට ප්‍රශ්න නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ කොන්දෙ අමාරුවට යන්නෙ සිංගප්පූරුවට. රාජිත සේනාරත්න මොළේ අමාරුවට යන්නෙත් සිංගප්පූරුවට. නවලෝකෙටවත් යන්න සල්ලි තිබුණු අය නෙවෙයි මේ රටවලට යන්නෙ. දූෂිතම දේශපාලනඥයා පාර්ලිමේන්තුවට ගියේ ජනතාවගේ ඡන්දයෙන්. ජනතාව ඔය පක්‍ෂ දෙකට කොපමණ බනිනවද? නායකයෝ හැදෙන්නෙ නැහැ. ඔබයි වෙනස් වෙන්න ඕනේ. ජනතාව දැනුවත්ව තමයි මෙම අපරාධයට හවුල් වෙන්නෙ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා ජවිපෙ කියනවා.

විධායක ජනාධිපති ක්‍රමය තමයි මේ රට බෙදන්න වැඩිම රුකුල දීලා තියෙන්නෙ. ඒ බලය රට බේර ගන්න මොනවද කරලා තියෙන්නෙ. මේ රට සිංහල, දෙමළ, මුස්ලිම් කාටත් අයිතියි.

යුද්ධය විකුණන්නේ ඡන්ද දිනන්න. යුද හමුදාපතිවරු පත් කරලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ.යත් එක්ක සාකච්ඡා කරලා. සරත් ෆොන්සේකා මහත්තයා පමණක් වෙනස් වුණා.

ලංකාවෙ ලොකුම හොරු ඉන්නෙ පාර්ලිමේන්තුව තුළ. ජනාධිපතිතුමාගේ මාණ්ඩලික ප්‍රධානියා කෝටි දෙකක් පගාව ගනිද්දී අහුවුණා. හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙ මාණ්ඩලික ප්‍රධානියා කෝටි ගාණක් අරන් හිරේ. පසුගිය අවුරුදු දහය පහළොව ඇතුළත හිටපු ලේකම්වරු හතර දෙනාම හොරකම් කරලා අහුවුණා. එන එන ලේකම් හොරකම් කරන්නෙ හොරකම තියෙන්නේ ජනාධිපති ධුරය අතේ. ප්‍රධාන දූෂණ වෙන්නෙ ජනාධිපති මන්දිරේ. අගමැති මන්දිරෙත් වෙනවා.”

පඬුවස්නුවර – හිරුනි මෙන්ඩිස්

“රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් උදෙසා ජනහමු දසදහස” වැඩසටහනට සමගාමීව පැවති තවත් ජනහමු කිහිපයක ඡායාරූප පහතින් පල වේ.

නිකවැරටිය බෝගොල්ලාගම

මහව

ගල්ගමුව

අනුරාධපුර වටගල

ජා – ඇල

බියගම ආසනයේ පහල බොල්ලෑගල

Facebook
Twitter
LinkedIn