“20”ට මහින්ද පිලෙන් භාරකාර ආණ්ඩු යෝජනාවක්

“20”ට මහින්ද පිලෙන් භාරකාර ආණ්ඩු යෝජනාවක්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් මහින්ද පිලේ නායකයන් සිදු කළ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් මන්ත්‍රීවරු විසිවැනි සංශෝධනයට සංශෝධන එකතු කිරීම පිළිබඳව යෝජනා කර ඇති බව එම පිලේ පක්ෂ නායකයෙකු සතිඅන්ත පුවත්පතක් සමග ප්‍රකාශ කර ඇත.

එම මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ විසිවැනි සංශෝධනය සම්මත වූ විගස පවතින ආණ්ඩුව ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතේ මාසයක කාලයක් තුළදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි විසිවැනි සංශෝධනයට වගන්තියක් එකතු කළ යුතු බවයි.

තමන් ඉදිරිපත් කරන යෝජනා සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ සෘජු සහයෝගය ලැබෙන බවද එම පක්ෂ නායකයා ප්‍රකාශ කර තිබේ.

අගෝස්තු 02 වැනිදා කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇත.

එම සාකච්ඡාවේදී විසිවැනි සංශෝධනය පිළිබඳ විරුද්ධ මතයක් දරා ඇත්තේ උදය ගම්මන්පිල ඇතුළු ඒ සඳහා විරුද්ධත්වය දක්වන පක්ෂ නායකයන් කිහිපදෙනෙකු පමණි. ගම්මන්පිළ ඇතුළු පිරිස එහිදී යෝජනා කර ඇත්තේ කමිටු අවස්ථාවේදී විසිවැනි සංශෝධනයට බලය බෙදීමේ වගන්තියක් එකතු වනු ඇතැයි ප්‍රචාරය කළ යුතු බවයි. ඒකාබද්ධ විපක්ෂයට සිටින 70 දෙනෙකුගේ කණ්ඩායමට අමතරව අතුරලියේ රතන හිමි, ජාතික හෙළ උරුමය ඇතුළු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ කණ්ඩායමේ සහයෝගය ලබාගෙන විසිවැනි සංශෝධනය පරාජය කිරීම ගැන එහිදී ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විසිවන සංශෝධන යෝජනාව පිළිබඳව මහින්ද පිලේ පක්ෂ නායකයන් සිදු කළ මෙම සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව මහින්ද පිලේ පක්ෂ නායකයන් කිහිපදෙනෙකු සිය අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට ඇත. ඒ මොහොතේ එසේ නිහඬව සිටියත් 20වන සංශෝධනය සම්බන්ධයට තම කණ්ඩායමෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලට ජවිපෙ එකඟ වුවහොත් විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදෙන බවද එම පුවත්පත සමග අදහස් දැක්වූ පක්ෂ නායකයා ප්‍රකාශ කර ඇත.

මූලාශ්‍ර අනිද්දා පුවත්පත

Facebook
Twitter
LinkedIn