පූජිත් ජයසුන්දර ලක්ෂ 120ක් අරන් – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පූජිත් ජයසුන්දර ලක්ෂ 120ක් අරන් – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරද්දී අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ මහනුවර ත්‍රිත්ව විදුහලේ හිටපු විදුහල්පති රොඩ් ගිල්බට් (Roderick Gilbert) ශ්‍රී ලංකාවට නැවත හොර රහසේ පැමිණ මහනුවර ප්‍රදේශයේ සිටියදී ඔහු අත්අඩංගුවට නොගෙන ආරක්ෂා කිරීම සඳහා සන්තෝසමක් ලෙස රුපියල් මිලියන 12ක් ලබාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නිශාන්ත ද අල්විස් නැමැත්තෙකු පැමිණිලි කර තිබේ.

ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ 2008 වසරේදී මෙය සිදුව ඇති බවයි. එවකට මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පතිවරයාව සිටි රොඩ් ගිල්බට් නමැත්තා ශ්‍රී ලංකා අධිකරණයේ නියෝගයක් මත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ බවත්, එහෙත් පසුව ඔහු නැවත හොර රහසේ ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ප්‍රත්‍රයාගේ මංගල උත්සවය මහනුවර හෝටලයකදී පවත්වා ඇති බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

රොඩ් ගිල්බට් අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා එවකට මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් මිලියන 12ක චෙක්පතක් ලබා දී ඇති බවද එම චෙක්පත හිමි ගිණුම ත්‍රිත්ව විදුහලට සම්බන්ධ පිරිසක් විසින් මහනුවර හැටන් නැෂනල් බැංකුවේ පවත්වාගෙන ගොස් ඇති බවද තවදුරටත් ඔහු පවසා ඇත.

එය 180837067 දරන ගිණුම බවත් මෙම ගිණුමෙන් 2008/08/20 දින රුපියල් මිලියන 12ක් වටිනා චෙක්පතක් පී. එස්. බී. ජයසුන්දර නැමති අයට නිකුත් කර ඇති බවත් එනමින් හඳුන්වන්නේ වත්මන් පොලිස්පතිවරයා බවත් ඔහු තව දුරටත් පවසා ඇත.

මේ ගැන පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් විමසූ විට පැවසුවේ එවැනි පැමිණිල්ලක් ඇත්නම් විභාග කිරීම උචිත බවය. එමෙන්ම තවමත් නිවසක් පවා හදාගෙන නැති බවද පැවසූ පොලිස්පතිවරයා එවැනි මුදල් ඇත්නම් නිවෙසක් හදාගන්නා බවද කීවේය.

-රාවය-

Facebook
Twitter
LinkedIn