ETI තැන්පත්කරුවෝ 11 වෙනි වතාවටත් හිස් අතින් ගෙදරයති

ETI තැන්පත්කරුවෝ 11 වෙනි වතාවටත් හිස් අතින් ගෙදරයති

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ. ටී. අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ මුදල් තැන්පත්කරුවන් අද(30) ඔවුන්ට ලබා දීමට පොරොන්දුව තිබූ මුදල් ලබා ගැනීම සඳහා 11 වැනි වතාවටත් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට රැස් වූහ.

තැන්පත්කරුවන් 36,000ක් විසින් රුපියල් කෝටි 3,600 ක් ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ සහ ස්වර්ණමහල් මූල්‍ය සේවා සමාගමේ  තැන්පත්කර තිබෙන අතර මාස හතකට අධික කාලයක් තිස්සේ ඔවුන් තැන්පත්කරන ලද මුදල් ලබාදීමට එම සමාගම් අපොහොසත් වී ඇත. මුදල් ලබා දෙන බවට විවිධ දින වකවානු ප්‍රකාශ කර සිටිය ද කිසිවෙකුටත් මේ දක්වා මුදල් ලැබී නැතැයි අද රැස්වූ පිරිස් ප්‍රකාශ කර සිටියහ. එසේම ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් ආයතනයේ හිමිකරුවන් සහ මහ බැංකුව පවසන කරුණු එකිනෙකට පරස්පර බවත් මහබැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙමගින් කඩවන බවත් තැන්පත් කරුවෝ වැඩිදුරටත් පවසා සිටියි.

තැන්පත්කරුවන් අද දිනයේ රැස්වූ අවස්ථාවේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ද සම්බන්ධවී සිටි අතර එහිදී උනුසුම් තත්වයක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ ද තැන්පත්කරුවන්ට හිස් අතින් නිවෙස් බලා යාමට සිදුවිය.

පසුගිය 5 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉල්ලාසිටි මූල්‍ය ආයතන කඩාවැටීම සම්බන්ධ විවාදයේදී මේ පිළිබඳ රජයේ අවධානයට යොමු කළද විසඳුමක් නොමැතිව තැන්පත්කරුවෝ තවදුරටත් අපහසුතාවයට පත්ව ඇත.

Facebook
Twitter
LinkedIn