ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීම, පොලීසියට අසත්‍ය ප්‍රකාශ ලබාදීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය සමීර සේනාරත්න විසින් ඉදිරිපත් කර තිබූ ඇප පෙත්සම ඊයේ (28) කැඳවනු ලැබූ අවස්ථාවේ කඩුවෙළ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් එය ප්‍රතික්ෂේප කර සැකකරුවන් ජූලි 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ ය.
විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ සිද්ධියට අදාල විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සාක්ෂිකරුවන්ට සිදුවිය හැකි බලපෑම් සිදුවිය හැකි බවට අධිකරණයවෙත කරුණු දැක්වීමෙන් අනතුරුවය.
2017 වසරේ පෙබරවාරි මස වෛද්‍ය සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලකළ බවට සැළසුම් සහගතව පොලීසිය හා අධිකරණය නොමඟ යැවීම මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනුණි. සයිටම් විරෝධීන් විසින් සමීර සේනාරත්නට වෙඩි තැබුවේ යැයි හැඟවීම සඳහා සයිටම් ආයතනය වෙනුවෙන් මෙම වෙඩි තැබීමේ රංගණය සම්පූර්ණයේම ලක්මාල් විලත්ගමුව විසින් සැලසුම් කර තිබිණි.
ඒ අනුව සුබසිංහ පතිරගේ සුමිත් නිරෝෂණ හෙවත් ටීනා, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු රියැදුරකු වන සිසිර උදය කුමාර, කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි අරුණ ලක්මාල් විලත්ගමුව හා වෛද්‍ය සමීර සේනාරත්න යන සැකකරුවන්ට එරෙහිව මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.










