උතුරුමැද හිටපු මහ ඇමතිවරායට එරෙහිව ලබාදුන් තීන්දුව සමස්ත රාජ්‍ය සේවකයාම ලද ජයග්‍රහණයක්

උතුරුමැද හිටපු මහ ඇමතිවරායට එරෙහිව ලබාදුන් තීන්දුව සමස්ත රාජ්‍ය සේවකයාම ලද ජයග්‍රහණයක්

දේශපාලනඥයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු නොකිරීම හේතුවෙන් දේශපාලන බලපෑම් මත අසාධාරණ ලෙස මාරු කිරීම්වලට ලක්වූ නිවර්තක චේතිය විදුහලේ විදුහල්පතිවරයා විසින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුව ජයග්‍රහණය කිරීම සමස්ත රාජ්‍ය සේවයේම නිලධාරින් ලද ජයග්‍රහණයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම ගුරු විදුහල්පති පෙරමුණෙහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

උතුරුමැද හිටපු මහ ඇමතිවරයා වු පේෂල ජයරත්න විසින් අත්තනෝමතික ලෙස නිවර්තක චේතිය විදුහලේ විදුහල්පතිවරයා කලාප අධ්‍යාපන කාර්යාලයට ස්ථාන මාරු කිරීමට එරෙහිව අංක 356/2016 මෙම මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කර තිබු අතර එහි තීන්දුව ප්‍රකාශ කරමින් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා වැරදි කරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුනේ  විදුහල්පති ආර්.පි. කරුණාරත්න බණ්ඩාර මහතාට තම පෞද්ගලික මුදලින් රුපියල් 250,000ක මුදලක් හා රජයේ ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙස ය.

2016 වර්ෂයේ සැප්තැම්බර් 09වන දා අනුරාධපුර නිවර්තක චේතිය විදුහලෙහි පැවති මුල්ගල් තැබිමේ උත්සවයකට අදාලව එහි සිසුන් සහ දෙමව්පියන් නොකැදවිමට උරනව එහි විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටි ආර්.පි. කරුණාරත්න බණ්ඩාර මහතා එම මස 14 වැනි දින සිට වහා ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට මාරුකර තිබිණි.

එමගින් මහ ඇමතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12/01 වගන්තිය උල්ලංඝනය කරමින් විදුහල්පතිවරයාගේ මුලික අයිතිවාකම් කඩකර ඇති හෙයින් මෙම ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසත් ඊට වන්දි වශයෙන් අදාළ මුදල ගෙවන ලෙසත් මාස දෙකක් ඇතුළත් එම විදුහල්පතිවරයා යළි නිවර්තක චේතිය විදුහලටම පත් කරන ලෙසත් නියෝග කර ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධානලේකම්, ගුරු විදුහල්පති පෙරමුණෙහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ මෙය තනි පුද්ගලයෙකු ලැබු ජයග‍්‍රහණයක් නොව මෙරට වරින්වර බලයට පත්වෙන මධ්‍යම හා පලාත් ආණ්ඩු විසින් බරපතල ලෙස දේශපාලන බලපෑම්වලට නතු කර ගෙන සිටින ගුරුවරුන්, විදුහල්පතිවරුන් ලැබු සුවිශේෂි ජයග‍්‍රහණයක් බවත් තවදුරටත් මෙවැනි දේශපාලන පළිගැනිම් සිදුකිරිමට යාමේදී දේශපාලඥයින් මෙන්ම ඔවුන්ට ගැතිකම් කරන නිළධාරින්ද දැඩි අවධාණයට ගතයුතු නඩු තීන්දුවක් ලෙස මෙය පෙන්වා දිය යුතු බවත්ය.

එමෙන්ම මෙම නඩු තීන්දුව සමස්ත රාජය සේවයේම ජයග්‍රහණයක් බවත් මහින්ද ජයසිංහ මහතා සඳහන් කර සිටියේය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ සුනිල් වටගල මහතා පෙනී සිටින ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්