දේශපාලන අතපෙවීම්වලට විරුද්ධව ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිල්ලක්

දේශපාලන අතපෙවීම්වලට විරුද්ධව ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිල්ලක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුර සඳහා සුදුසුකම්ලාභින් විධිමත් සමුමුඛ පරීක්ෂණයකින් පසු තොරා ගැනුන ද එම ලැයිස්තුව පසෙක දමා දේශපාලන අතපෙවීම් මත එම තනතුර සඳහා වෙනත් පුද්ගලයින්ට පත්වීම් ලබා දෙන බවට පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාවෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මෙම පැමිණිල්ල කර ඇත්තේ අදාල තනතුර සඳහා විධිමත් ක්‍රමවේදය යටතේ තේරී පත්ව ඇති 116 දෙනෙකු විසිනි. එම 116 දෙනාගේ ලැයිස්තුවත් දේශපාලන අතපෙවීම් මත ඇතුලත් කිරීමට උත්සාහ දරන බවට කියන 66 දෙනෙකුගේ ලැයිස්තුවකුත් පැමිණිලිකරුවන් විසින් ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කර ඇත. ළමා රක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය විසින් මෙම කරුණ සම්බන්ධව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක ද මේ සම්බන්ධ තොරතුරු ඇතුලත්ව තිබේ.

අදාල නිලධාරීන්ට විශය භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය දන්වා ඇත්තේ තමන් විසින් එවනලද නාමලේඛණයේ 66 දෙනාට ප්‍රමුඛතාවය ලබාදී තවදුරටත් පුරප්පාඩු ඇත්නම් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි ඉතිරි පුද්ගලයන්ගෙන් අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන ලෙසය. එම 66 දෙනා තුළ සුදුසුකම් ලැබූ 13 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

මේ වන විට සුදුසුකම්ලාභීන් විසින් ජනාධිපතිවරයාට, විශයභාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට හා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට ඔවුන්ට සිදුව ඇති අසාධාරණයට මැදිහත්වන ලෙස ඉල්ලා ලිඛිතව පැමිණිලි කළද මෙතෙක් ප්‍රතිචාර ලැබී නැත. මේ හේතුවෙන් පසුගියදා ත්‍රෛනිකායික හිමිවරුන් ද හමුවී මෙයට මැදිහත්වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මෙම කරුණ අනාවරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් මීට ඉහත දී මාධ්‍යවලටද පිටපත් සහිතව අග්‍රාමාත්‍යවරයාටද ලිපියක් යොමු කර තිබිණි. කෙසේ වෙතත් පරීක්ෂණ කටයුතු කඩිනමින් හා නිසිපරිදි සිදු නොවීම මත සුදුසුකම් ලාභින් මාස ගණනක් තිස්තේ අපහසුතාවයට පත්ව ඇත.

මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ඔම්බුඩ්ස්මන්වරයා තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

 

Facebook
Twitter
LinkedIn