ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනඑනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ලබන 02 වැනිදා සිට අත්පත්‍රිකා බෙදා හැරීමට එම පක්ෂය සූදානම් වෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මතු කළ කාරණවක් අනුවය.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ 20වැනි සංශෝධනය එළිදැකීමට පෙර ඊට එරෙහිව රට කඩන රට බෙදන බිල්ලන් මැවීමට කටයුතු කළ ඇතැම් අය එය ජනතාව අතරට පැමිණීමත් සමග නිහඬව සැඟවී සිටින බවයි. “දැක්කෙවත් නැති 20 කෙටුම්පත ගැන සමහරුන්ට ගොඩක් දේවල් කියන්න තිබුණා. බිල්ලො මැව්වා. ඒත් දැන් ඇත්ත බිල්ලො හැංගිලා සද්දයක් නෑ.” යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා දේශපාලන මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයේන අදහස් දක්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ “දැන් 20ට විරුද්ධ අය කියන්න දෙයක් නැහැ. ඒත් මේ කෙටුම්පත ජනතාව අතරට ගෙනියන කටයුත්ත නතර කරන්න හොඳ නැහැ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් වෙන එකේ වාසිය ජනතාවටයි.” යනුවෙනි.
“අන්තිමෙට මේ ප‍්‍රශ්නෙ බේරගන්න වෙන්න ජනතාවට. අපි මේ ගැන කරුණු පැහැදිලි කරන පත‍්‍රිකාවක් ඉක්මණටම රටට බෙදමු.” විජිත හේරත් මහතා යෝජනා කර තිබෙ අතර සියලු දෙනා ඊට එඟකත්වය පළ කළ තිබේ.
ඒ අනුව එම පත්‍රිකාව එළඹෙන 02වැනිදා ජනතාව අතරේ බෙදාහැරීමටද තීරණය කර ඇත.










