බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන කප්පම් නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 13 වනදා තෙක් කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය අද (28) නියෝග කර තිබේ.
මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා රාජකාරිමය අවශ්‍යතාවක් සඳහා හදිසියේ විදේශ ගත වීම නිසා නඩු විභාගය කල් දමන මෙන් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි බැවින් මෙසේ නඩුව කල් දමා ඇත.
ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 13 වනදා තෙක් කල් දැමූ මහාධිකරණ විනිසුරුවරිය එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුවන්ට අවවාද කර තිබේ.
මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරුබිම් ගොඩකර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා බලහත්කාරයෙන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරෙෂ් ෆාරික් නැමැත්තා මේ වනවිට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය තීන්දු කර තිබේ.










