විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි?

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි?

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මේ රටට අටවන ලද මර උගුලක් වූ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීම වූ කලී සැබැවින්ම, රටේ යහපත වෙනුවෙන් කළ යුතු කර්තව්‍යයකි. එය කාලීන අවශ්‍යතාවකි. ඇත්ත වශයෙන්ම මෙය සිදුවිය යුතුව තිබුණේ මෙයට වසර විසිහතරකට පමණ පෙරය. එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විධායක ජනාධිපති තනතුරට පත් වූ එක්දහස් නවසිය අනූහතර කාල වකවානුවේ දී ය. මා එසේ සඳහන් කරන්නේ අන් කරුණක් නිසා නොව, ඇයගේ මැතිවරණ ව්‍යාපාරයේ එදා බලවත්ම සටන් පාඨය ලෙස ජනතා ආකර්ෂණය දිනා ගත්තේ ‘තමා බලයට පත් වුවහොත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේ ය’ යන ඇයගේ ප‍්‍රතිඥාවයි. එහෙත් තනතුරේ දිවුරුම් දීමත් සමඟම ඒ සියල්ල ඇයට අමතක විය. තනතුරේ රසය දැනිණ. ‘නක්සලයිට්’කාරයෙකු යැයි හංවඩු ගසා සිය සැමියා දඟ ගෙට යැවූ ජේ. ආර්. යන නමවත් අසනු රිසි නොවූ  චන්ද්‍රිකා ජනපතිනිය ජේ.ආර්. හැදූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නමැති සළුව අගේට පොරවා ගෙන විධායක ජනාධිපති තනතුර නමැති මී අඹය බුදිමින් පළමු සය වසරම ඔහේ ගෙවා දැමීය.

ඊළඟ සය වසර ඇරඹියේ 1999 වසරේ දී ය. එම අවස්ථාවේ අලුත් මුහුණුවරකින් හා අලුත් ගැම්මකින් යුතුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව කරළියට ගෙන ආවේ ය. ජනාධිපතිවරණය ජය ගත්තේය. සය වසරක් ගෙවී ගියේය. අඳෝමැයි. පොරොන්දුව ඉටු කළේ නැත. පොරොන්දුව හමස් පෙට්ටියේ තබා වාර දෙක අවසන් වූයෙන්, ඈ යන්න ගියා ය.

ඉන් අනතුරුව, 2005දී බලයට පත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ ප‍්‍රධාන මැතිවරණ සටන් පාඨය වූයේ ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. චන්ද්‍රිකා ජනපතිනිය හමස්පෙට්ටියේ දමා තිබූ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දු පත‍්‍රය රාජපක්ෂ මහතා විසින් ද ජනාධිපතිවරණයට පෙර එළියට ගෙන අළු දූවිලි ගසා දමා, මහත් උජාරුවෙන් ඒ ගැන යළි යළිත් කියවා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ සැණෙන් එය තිබූ තැනම යළි තැන්පත් කොට ගොළුවත රැක්කේය. රාජපක්ෂ මහතාගේ පළමුවැනි කාල පරිච්ඡේදය අවසන් විය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කළ කෙංගෙඩියක් නැත. දෙවන කාල පරිච්ඡේදයට ද එම පොරොන්දුවම අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කළේය. ජයග‍්‍රහණය කළේය. විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. පොරොන්දුව හමස් පෙට්ටියේ තිබූ තැනමය. ඔහු විශ‍්‍රාම යැව්වේ ය. එහෙත්, යළි ඒමේ අදහස නම් අතහැර දමා නැතුවා වාගේය.

2015 වනවිට විධායක ජනාධිපති ක‍්‍රමය ක‍්‍රියාත්මක වී වසර 37ක් ම ගෙවී ගොස් තිබිණ. මෙම කාල පරාසය තුළ අන්ත පීඩාවට පත් ජනතාවගේ එකම බලාපොරොත්තුව වූයේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කොට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරවා ගැනීමය. ඒ සඳහා විවිධ සිවිල් සංවිධාන හා බුද්ධිමත්හු ජනතාව දැනුම්වත් කරමින් ද, ගෙන් ගෙට යමින් ද, දිවයින පුරා සම්මන්ත‍්‍රණ පවත්වමින් ද මෛත‍්‍රීගේ ජයග‍්‍රහණය සඳහා ඇප කැප වූහ. එහි ප‍්‍රතිඵලය සාර්ථක විය. ඉතිහාසයේ කිසි දින නොවූ විරූ අයුරින් ඔහු ජයග‍්‍රහණය කළේය. හැට දෙලක්ෂයක් ජනතාව එක හඬින් කියා සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට, අශීලාචාරව පැවැති මේ රට දූෂණයෙන් හා  වංචාවෙන් තොර ශිෂ්ට සම්පන්න  රටක් කරන ලෙසය.  ජාතියේ අවාසනාවට සිදු වූයේ එහි අනෙක් පැත්තයි. රට තව තවත් ප‍්‍රපාතයට ඇද දමන ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ ආකාරයේ මහා පරිමාණ වංචා හා දූෂණයන්ගෙන් රාජ්‍යය පිරී ගියේය. ඒ වූකලී ඉතිහාසයේ තවත් ඛේදවාචකයකි.

2015 දී මෛත්‍රී – රනිල්  හවුල කැසපට ගසාගෙන, වැඩේට බැස්සේ ‘මෙදා පොටේ දෙන්නම් බැටේ’ කියන ආකාරයෙන් වුව ද,  විධායක ජනාධිපති ක‍්‍රමයේ රහ තේරෙන්නට ගත් විට ඔහුට ද අතීතයේ කළ කී දෑ සියල්ල අමතකව ගොස් එහිම එල්ලී සිටීමට යත්න දරන සෙයක් පෙනේ. ඒ වූ කලී 2015 ජනතා වරමට මුළුමනින්ම පිටුපා යාමකි. එපමණක් නොව, එසේ කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් ද නැත.

වීධායක ජනාධිපති ක‍්‍රමයේ ඉතිහාසය විමසීමේ දී ඉහත සඳහන් කරුණු අප මතකයට නැඟෙතත්, ඉන් ඇති වැඩක් නම් නැත. හෝද හෝදා මඩේ දාන්නා සේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රශ්නය විවිධ නායකයන් විවිධාකාරයෙන් ජනතාව රවටමින් ගෙන ගිය අශීලාචාර සෙල්ලම ප‍්‍රබුද්ධ යයි කියා ගන්නා දේශපාලනඥයන්ට තරම් නොවේ. ඒ කෙසේ වෙතත්, අප මෙහි දී අවධානය යොමු කළ යුත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් යෝග්‍ය නොවන්නේ ඇයි ද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමට ය.

විධායක ජනාධිපති ක‍්‍රමයේ ආදීනව මැනැවින් පෙන්වා දුන් ව්‍යවස්ථා විශාරදයන් දෙදෙනෙක් එකල ජීවතුන් අතර සිටියහ. ඒ ආචාර්ය එන්.එම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යන දෙදෙනා ය. මේ දෙදෙනාම 1977 මැතිවරණයෙන් පරාජයට පත් වීම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත‍්‍රිවරුන් නොවී ය. එහෙත්, පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ඉඳිමින් ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් සිදු වෙමින් පැවැති ක‍්‍රියාදාමය ගැන පුවත් පත්වලට  හෝ සඟරාවලට හෝ  ලියන ලිපි මඟින් සිය විවේචනයන් ඉදිරිපත් කරන ලද බවට තොරතුරු හමු වේ. එහෙත්, ඔවුහු එවකට පරාජිත දේශපාලන නායකයන් වූයෙන් ඔවුන් කරන ලද විවේචනයන්ට නිසි වැදගත්කමක් එවකට නොලැබිණි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එකදු මාක්ස්වාදී නායකයෙකුවත් පාර්ලිමේන්තුවට පත් වී නො ආයේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වුව පත් වී ආවේ මන්ත‍්‍රීවරුන් අටදෙනෙක් පමණි. 1977දී පාර්ලිමේන්තුවේ පැවැති ආසන සංඛ්‍යාව 168කි. එයින් 140ක්ම එජාපයට හිමි විය. එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත‍්‍රිවරුන්ගෙන් සියයට 66ක් ම නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් බව වාර්තා වේ. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 18 ක් හිමි වී පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා එයින් පත් විය. මේ තත්ත්වය ද ජේ. ආර්. ජයවර්ධනට උත්තරීතර බලයක් සහිත ඒ්කාධිපති විධායක ජනාධිපති ක‍්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම පහසු කරවීය.

1978 ව්‍යවස්ථාවේ දැක්ම සම්බන්ධයෙන් කරුණු දක්වන ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ විශාරදයන්ගේ මතය නම්, 1978 ව්‍යවස්ථාවෙන් ඇති කළ නව ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුව ලෙස නම් කරන ලද රාජ්‍ය සභාව හිමි කරගෙන තිබූ රාජ්‍ය බලයේ උත්තරීතර තත්ත්වය එයට අහිමි කොට ජනතාව විසින් කෙළින්ම තෝරා පත් කර ගන්නා  විධායක ජනධිපති කෙනෙකු අතට පත් කළ  බවත්, ඒ නිසාම රාජ්‍ය බලය තීරණාත්මක ලෙස ජනාධිපති අතට පත්වීමෙන්, පාර්ලිමේන්තුවට ඊට අඩු වැදගත්කමක් ලැබෙන පරිදි ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර බල බෙදීමක්  සිදු වී ඇති බවත් ය.

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෝකයේ බලවත්ම ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමක් තිබේ. එහෙත්, ඔහුගේ කටයුතු වුව කිසියම් ප‍්‍රමාණයකට පාලනයක් කොන්ග‍්‍රස් මණ්ඩලය හරහා සිදු වේ. එමතු නොව, ජනාධිපතිවරයා විසින් නීතියට පටහැනිව ගනු ලබන ඕනෑ ම ක‍්‍රියාමාර්ගයක් හෝ විධානයක් අවලංගු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වේ. තවද, ඇමරිකන් ජනාධිපතිට ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීමේ බලයක් නැති අතර, ඔහු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යටත් වේ.

ප‍්‍රංශ ජනාධිපතිට ද අගමැති නොසලකා ඇමති මණ්ඩලය පත් කිරීමේ බලයක් නැතැයි ද, අගමැතිගේ උපදෙස් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැතැයි ද ව්‍යවස්ථා විශාරදයෝ පෙන්වා දෙති. ජනාධිපතිගේ ක‍්‍රියාකාරකම් ව්‍යවස්ථා සභාවේ අධීක්ෂණයට ලක් වෙන බව ද කියැවේ.

එහෙත්, ශ්‍රී ලංකාවේ ජනාධිපති සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හෝ ප‍්‍රංශයේ විධායක ජනාධිපතිවරුන් සඳහා ඇති සීමා කිසිවක් බලපාන්නේ නැති බව පැහැදිලි කරුණකි. ඔහු නීතියට යටත් නැතිවාක් මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද යටත් නැත. කැබිනට් මණ්ඩලය පත් කිරීම වුව සිය අභිමතය පරිදි කළ හැකිය. කවර වරදකට වුව ද, ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමේ බලය පාර්ලිමේන්තුවට නැත. ඔහු නීතියට පටහැනිව කරන කවර ක‍්‍රියාවක දී වුව ද, ඒ ක‍්‍රියා අවලංගු කිරීමේ බලයක් අධිකරණයට නැත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ම කියා ඇති පරිදි ජනාධිපති වශයෙන් ඔහුට කළ නොහැක්කේ  ගැහැනියක් පිරිමියකු කිරීමත්, පිරිමියකු ගැහැනියක කිරීමත් පමණි.

කලින් පාර්ලිමේන්තුවට ලැබී තිබුණු ප‍්‍රමුඛ හා උත්තරීතරභාවය විධායක ජනාධිපති ක‍්‍රමය තුළින් අහිමි වී ගොස් විධායක ජනාධිපති ප‍්‍රමුඛ මෙන්ම  උත්තරීතර වූත් ආයතනය බවට පත් වූ අයුරු මෙරට ජනතාවට මේ වනවිට රහසක් නොවේ. ඒ සමග රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පරාජය කිරීම, විසර්ජන කෙටුම් පත් පරාජය කිරීම හෝ විශ්වාස භංග යෝජනාවක් මගින් විධායකය පරාජය කොට ආණ්ඩුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවට තිබූ අයිතිය ද අහිමි විය. ප‍්‍රධාන විධායකයා ප‍්‍රශ්න කිරීමට, කරුණු විමසීමට හෝ විවේචනය කිරීමට තිබූ අයිතිය ද අහිමි විය.

ජනාධිපතිට ආණ්ඩු පක්ෂයේ සියලු ම දෙනාට වුවත් තනතුරු ලබා දිය හැකිය. ඒ මඟින් ද පාර්ලිමේන්තුව සිය අණසකට යටත් කර ගැනීමට තමන්ට ඇති බලය ජනාධිපතිවරයාට වර්ධනය කර ගත හැකි ය. මෙමඟින් මන්ත‍්‍රීවරුන් බහුතර පිරිසක් නිවට නියාලු තත්ත්වයෙන් තබා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබී තිබේ. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලැබී තිබිය දීත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගෙන්, දාතම නොයෙදූ ඉල්ලා අස් වීමේ ලිපි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති විසින් ලබා ගැනීම ඓතිහාසික සංසිද්ධියකි. එය මේ ක‍්‍රමය තුළ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රිවරුන්ට ජනාධිපති ඉදිරියේ නිවට නියාලූ වීමට සිදු වී තිබූ තරම පෙන්නුම් කරන හොඳම නිදසුනකි.

ඒ 1982 ඔක්තෝබර් මාසයයි. පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කර ගැනීමට තීරණය කෙරුණු අවධියයි. එම තීරණය ගත් අවස්ථාවේ දී ම සියලූම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රිවරුන් විසින් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාර දිය යුතු බවට ද  තීරණයක් ගත් බවත්, එම තීරණය ප‍්‍රකාර කැබිනට් මණ්ඩල සාමාජිකයන් ඇතුළුව ඔවුන්ගේ දින නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති වෙත භාර දෙන ලද බවටත් ප‍්‍රවෘත්ති එකල පුවත් පත්වල පළ වූ බව අපට මතක ය. ඒ වූ කලී නිකම්ම නිකම් ප‍්‍රවෘත්තියක් නොවේ. සත්‍ය කරුණු මත පදනම් වූ ප‍්‍රවෘත්තියකි.

මෙය විධායක ජනාධිපති තනතුර මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවට වඩා කෙතරම් උත්තරීතර  වූවක් ලෙස එකල භාවිත වූවේ ද යන්නට එක් නිදසුනක් පමණි. තවත් බොහෝ නිදර්ශන අතීතයෙන් හමු වේ. තවත් එවන් විධායක බලය යෙදැ වූ අවස්ථා එකක්, දෙකක් ගැන තොරතුරු මෙහි ලා සටහන් කර තැබීම කාලෝචිත යැයි හඟිමි. පොලිස් අධිකාරී පී. උඩුගම්පොළ පිළිබඳ  කුප‍්‍රකට සිද්ධිය යළි මතකයට නැඟීම කාලෝචිත ය. ප‍්‍රවීණ ලේඛක වික්ටර් අයිවන්ගේ ‘චෞර රාජ්‍යය’ කෘතියේ 96 පිටුවේ දැක්වෙන පරිදි  ඒ සිද්ධිය මෙසේ ය :

“පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා දූෂිත ජනමත විචාරණයක් පැවැති කාලයේ දී බෞද්ධ භික්ෂූන් පිරිසක් හා ක‍්‍රිස්තියානි පූජක පිරිසක් එකතු වී ‘පැවිදි හඬ’ නමින් සංවිධානයක් ඇති කර ගනිමින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීමට දරන ප‍්‍රයත්නයට එරෙහිව මහජනතාව අතර බෙදාහැරීම සඳහා පත‍්‍රිකාවක් මුද්‍රණය කෙරෙව්වේ ය. ‘පැවිදි හඬ’ ව්‍යාපාරයේ ප‍්‍රධානියා ලෙස ක්‍රියා කළේ දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේය. ජනාධිපතිවරයාට සමීප සම්බන්ධකම් තිබූ පොලිස් නිලධාරියෙකු වූ පොලිස් අධිකාරි පී. උඩුගම්පොළ මෙම පත‍්‍රිකාව මුද්‍රණය කළ මුද්‍රණාලයට සීල් තබා මුද්‍රණය කර තිබූ පත්‍රිකා 20,000ක් අත්අඩංගුවට ගත්තේ ය. ඒ මඟින් පොලිස් අධිකාරී උඩුගම්පොළ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බව ප‍්‍රකාශ කරමින් රතනසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනුණේ, අබ්දුල් කාදර්, කොලින් තෝමේ, රත්වත්ත හා රුද්‍රිගෝ යන සිව් පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ය.  පොලිස් අධිකාරිවරයා රතනසාර හිමියන්ගේ භාෂණයේ නිදහසට අයථා ලෙස මැදිහත් වී තිබෙන බවත්, ඒ මඟින් රතනසාර හිමියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවත් තීන්දු කරමින්, පෙත්සම්කරුට රුපියල් 10,000.00ක වන්දියක් හා රුපියල් 2,100.00ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේ ය. මෙම තීන්දුව දෙන ලද්දේ 1983 පෙබරවාරි 8 වැනිදා ය. මාර්තු 02 වැනි දින උඩුගම්පොළ, ජ්‍යෙෂ්ඨ උසස් පෙළේ නිලධාරියෙකු ලෙස උසස් කළ අතර, උඩුගම්පොළට ගෙවීමට ඇති නඩු ගාස්තු හා වන්දි මුදල රජයේ මුදලින් ගෙවන බව ද රජය ප‍්‍රකාශ කළේය.”

වික්ටර් අයිවන් ‘චෞර රාජ්‍යය’ කෘතියෙන් හෙළිදරවු කරන තවත් එවැනි ම සිද්ධියක් කෙටියෙන් මෙසේ ය: ඉහත සිද්ධිය සිදු වී සතියකට පසුව එනම්, 1983 මාර්තු 08 වැනි දින (කාන්තා දිනයේ දී) ඩියෝගා ග‍්‍රාෂියා දූපතේ ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු සංකීර්ණයට විරෝධය පළ කරමින් ලංකා සමසමාජ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරියක වූ විවියන් ගුණවර්ධන ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපියක් භාර දීම සඳහා බැනර් රැගෙන තවත් කාන්තා පිරිසක් සමග ගොස් ඇත. කිසිදු කලබලයකින්  තොරව විරෝධතා ලිපිය තානාපති කාර්යාලයට භාර දී ආපසු එමින් සිටිය දී,  පොලිස් කණ්ඩායමක් පැමිණ එම පිරිස අත තිබූ බැනර් උදුරා ගෙන, එම සිද්ධිය ඡායාරූපගත කරමින් සිටි ඡායාරූප ශිල්පියෙකු අත්ඩංගුවට ගෙන තිබේ. කැමරා ශිල්පියා නිදහස් කර ගැනීමට විවියන් ගුණවර්ධන මහත්මිය කොල්ලුපිටිය පොලිසියට ගිය අවස්ථාවේ දී පොලිසිය තුළ ඇති වූ කතාබහක දී උප පොලිස් පරීක්ෂක ගනේෂනාදන් නමැති අයෙක් ඇයට බිම දමා පහර දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු කර ඇතැයි ප‍්‍රකාශ කරමින්, විවියන් ගුණවර්ධන මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළාය.

පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය නීති විරෝධී ලෙස ඇය අත්අඩංගුවට ගැනීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බව ප‍්‍රකාශ කරමින්,  ඇයට රුපියල් 2000.00ක  වන්දියක් නියම කොට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පොලිස් නිලධාරියාට එරෙහිව විනය පියවරක් ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. මෙම තීන්දුව දී ඇත්තේ ජුනි 08 වැනිදාය. ජුනි 09 වැනිදා ජනාධිපති උපදෙස් මත එම පොලිස් නිලධාරියාට ද උසස් වීමක් දී තිබේ. ජුනි 11 වැනිදා එම තීන්දුව දුන් විනිසුරුවරුන් තිදෙනාගේ නිවෙස් ඉදිරිපිට රජයේ වාහනවලින් පැමිණි මැර පිරිසක් සටන් පාඨ කියමින් හා විනිසුරුවන්ට බැණ වදිමින් උද්ඝෝෂණයක යෙදුණ බව ද වාර්තා විය.

මෙබඳු අවලස්සන සිද්ධීන් අනන්තවත් විධායක ජනාධිපති ක‍්‍රමය පැවැති වසර 37ක ඉතිහාසය පිරික්සීමේ දී කෙනෙකුට සොයා ගත හැකිය. මෙහි ලා මා සඳහන් කළේ මුල් අවධියට සම්බන්ධ සිද්ධි දෙක තුනක් පමණි. කරුණු එසේ වුව ද, ජාතියේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින ඇතැම් අවස්ථාවාදී, අමනෝඥ දේශපාලනඥයන් මැරී ඉපදුණා සේ විධායක ජනාධිපති ක‍්‍රමයට ප‍්‍රශස්ති ගායනා කිරීමට වෙර දරනු පෙනේ. ඔවුන්ට එක් කාරණයක් පමණක් මතක් කර දෙනු කැමැත්තෙමි. ලංකා දේශපාලන ඉතිහාසයේ පස් වතාවක් ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද දූෂිත විධායක ජනාධිපති ක‍්‍රමය හොඳ යැයි කෙනෙක් පවසනවා නම්, ඔහු සිටිය යුත්තේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නොව, අංගොඩ මානසික රෝහලේ බව ය.

ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn