පරිසරයටත් ඒ හරහා ජන ජීවිතවලටත් විශාල තර්ජනයක් එල්ල කරමින් 2008 වසරේ සිට ආණ්ඩුව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති කටුපොල් වගා ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ඉල්ලමින් කෑගලු ජන අයිතීන් සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ආණ්ඩුවට දන්වා සිටියේය.
එම මාධ්‍ය හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක ගාමිණී රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ කෑගලු ජන අයිතීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන්ත රණසිංහ මහතා…
“ලංකාවේ හෙක්ටයාර් 20,000ක කටුපොල් වගා කිරීමට ආණ්ඩුව 2008 වර්ශයේ කැබිනට් තීන්දුවක් අනුව තීරණයක් අරගෙන තිබෙනවා. මෙම කටුපොල් වගා කිරීම පටන් අරගෙන තිබෙන්නේ රබර් වගාවට ආදේශකයක් ලෙසයි. මේ සඳහා විශාල ලෙස ජනතා විරෝධතා මතුවුනා. මේකෙන් උග්‍ර පරිසර හානියක් සිදු වෙනවා. මෙම කටුපොල් වගාව මගින් රබර් කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරත වූ වතු සේවකයන් විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා.
ඒ වගේම ලංකාවේ දැනටමත් තිබෙන, කෙසෙල්, පොල්, කරාඹු, වගේ සාම්ප්‍රදායික වගාවන්වලට බරපතල තර්ජනයක් එල්ල වෙනවා. මේක අපි දිගින් දිගටම පාලකයන්ට මතක් කළා. විශේෂයෙන් නිලධාරීන් පුද්ගලිකව මේකට විරුද්ධයි. එම නිලධාරීන් දන්නවා අපි කියන තර්කය හරි කියලා. ඒක නිසා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ තීරණයක් අරගෙන තියෙනවා මේක නතර කරනවා කියලා. ඒ තීරණය නොතකා සමාගම් වගා කරනවා.
පොලීසිය මැදිහත්වෙලා අවස්ථා දෙකකදී අධිකරණ නියෝග අරගෙන තියෙනවා මේ වගාව වලක්වා ගන්න. ඒවත් නොසලකා දැන් රෑට රෑට හොරෙන් හොරෙන් වගා කරනවා. ඉතින් මේක තවදුරටත් මේ විදිහට යන්න දෙන්න බැහැ. ඒ නිසා අපි දිගින් දිගටම බලපෑම් කරපු එකේ ප්‍රතිපළයක් හැටියට මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවක් ආණ්ඩුව ඉල්ලලා තියෙනවා. ඒ අනුව 2018.06.07 වන දින මධ්‍යම පරිසර අධිකාරිය වාර්තාවක් නිකුත් කරලා තියෙනවා 8RB62/2016 කියන අංකය යටතේ.
මෙම වාර්තාවෙන් කරුණු 15ක් ගැන සැලකිළිමත්කමක් දක්වලා තියෙනවා. මේ කරුණු 15ම කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට මේ කටුපොල් වගාව කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කියන එක. ඒකට ඔවුන් ඒ චක්‍රලෙකයේ තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අදාළව නිර්දේශ 07ක් ඉදිරිපත් කරලා තියෙනවා.
පළවෙනි නිර්දේශයේ කියන්නේ ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව අලුතෙන් ආරම්භ කිරීම, නැවත වගා කිරීම හෝ පවතින වගාවන් පුළුල් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතුයි. මෙන්න මේ සියලු තීරණ නොසලකා ආණ්ඩුවේ නිලධාරීන්ට කොලේ වහලා මේවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඉබිගමනට දාලා වතුඅධිකාරියේ ලොක්කන්ට අවස්ථාව දීල තියෙනවා රෑට රෑට කටුපොල් හිටුවන්න. ඒ නිසා අපි ආණ්ඩුවෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වගේ ‘රෑ ඩැනියෙල් දවල් මිගෙල්’ ගේම් ගහන්න එන්න එපා. ජනතාව කුපිත වෙලා ඉන්නේ. මේක තෙත් කාලාපයට අයිති දිස්ත්‍රික්කයක්. ඒක නිසා කරුණාකරලා මේක කෑගලු දිස්ත්‍රික්කයේ නැතුව වෙන තැනකින් ඉඩම් හොයාගන්න. කෑගලු දිස්ත්‍රික්කයේ මේ කටුපොල් වගාව ආරම්භ කරලා සිදු කරන මේ විනාශය වහාම නතර කළ යුතුයි.
ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපි ඒකට ප්‍රතිචාර දක්වන්න සූදානම්. ජනතා ප්‍රතිචාර මර්ධනය කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් තියෙනවා. පහුගියදා මේ විරෝධතා හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකුත් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ආණ්ඩුව එහෙමනම් එන්නේ අපි සූදානම් ඒ පරිසර වාර්තාවත් අරගෙන, ජනතාවත් දැනුවත් කරලා මේකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න.
අපි රටේ පුරවැසියන්ගෙන්, විද්‍යාඥයින්ගෙන්, පරිසරවේදීන්ගෙන්, සමස්ත ජනතාවගෙන් විශේෂයෙන් කෑගලු දිස්ත්‍රික්කයේ ජනතාවට අපි ආරාධනා කරනවා මේ අපේ අනාගත පරපුරට බලපාන ප්‍රශ්නයක් මේ සම්බන්ධව අපිත් එක්ක එකතුවෙන්න, මේ ගැන කතා කරන්න, සියළු ආයතනවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, මේ අනාගත ව්‍යසනය වලක්වාගන්න අපිත් එක්ක එකතුවෙන්න කියන ආරාධනාව කරනවා.”











