මැලේසියාවේනම් මෙහෙමයි

මැලේසියාවේනම් මෙහෙමයි

මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත්බෑග් සහ මුදල් පොලිසිය භාරයට ගෙන තිබේ.

රාජ්‍ය ආයෝජන අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට එරෙහිව පැවැත්වෙන දූෂණ විමර්ශන සඳහා මෙම භාණ්ඩ රැගෙන ගොස් ඇත. ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් වර්ගයේ අත්බෑග් 272 තිබී ඇත.

නජිබ් රසාක් විසින් පිහිටුවන ලද අරමුදලට ලැබුණු ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැති බවද විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ.

මැයි මාසයේ දී පැවැත්වූ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලදී.

මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය වන බව පොලිසිය පවසයි.

මෙම භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර ඩොලර් මිලියන 1.6ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩය ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර අත්බෑග් 567ක්ද අත් ඔරලෝසු 423ක්ද අව් කණ්ණාඩි 234ක් සහ ඩොලර් මිලියන 30ක මුදලක් තිබූ බව පොලිසිය පවසයි.

“අපිට භාණ්ඩ තිබූ ස්ථානයේ තියා ගණනය කිරීම කළ නොහැකි වුණා. ඒ තරමට ඒවායේ වටිනාකම වැඩියි” යැයි පොලිස් අපරාධ අංශයේ ප්‍රධානී අමාර් සිං ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

එම භාණ්ඩ ගණන් කිරීමට මෙන්ම ඒවායේ අගය ගණනය කිරීමට නිල වශයෙන් සති පහක් ගත වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

හිටපු අගමැති බිරිඳ රොස්මා සුපිරි සාප්පු සවාරි සහ ප්‍රසිද්ධ වෙළෙඳනාම යටතේ ඇති භාණ්ඩ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

බොහෝ දෙනෙකු රොස්මා මැන්සෝව, පාවහන් හා සුඛෝපභෝගී භාණ්ඩ කෙරෙහි දැක්වූ ඇල්ම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති බිරිඳ ඉමෙල්ඩා මාකෝස්ට සමාන කර තිබේ.

නජිබ් රසාක්ට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ඔහුගේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුවක් විය.

රාජ්‍ය ආයෝජන අරමුදලෙන් ඩොලර් මිලියන 700ක මුදලක් වංචා කර ඇති බවට නජිබ් රසාක්ට චෝදනා එල්ල වී ඇතත්, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

දූෂණ විමර්ශන අංශය විසින් නජිබ් රසාක් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන අතර, ඔවුන්ට රටින් පිටවීම තහනම් කර තිබේ.

බීබීසී සිංහල

Facebook
Twitter
LinkedIn