කලා නිෂ්පාදකවරුන්ගේ 14%ක රඳවාගැනීමේ බද්ද අහෝසියි

කලා නිෂ්පාදකවරුන්ගේ 14%ක රඳවාගැනීමේ බද්ද අහෝසියි

නව දේශීය ආදායම් පනතට අනුව සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් සහ ග්‍රන්ථ කතෘවරුන් සඳහා ගෙවන කර්තෘභාගවලින් අය කළ 14%ක රඳවාගැනීමේ බද්ද අහෝසි කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ ග්‍රන්ථවල සම්පූර්ණ අයිතිය චිත්‍රපට ප්‍රදර්ශකයකුට හෝ රූපවාහිනි ආයතනයකට හෝ වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමේදී නිර්මාණකරුට ගෙවන මුදල මත අය කරන 14%ක රඳවා ගැනීමේ බද්ද මින් ඉදිරියට අය නොකෙරෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

එසේ වුවත් චිත්‍රපට නිෂ්පාදකයා හෝ ටෙලිනාට්‍ය නිෂ්පාදකයා හෝ ග්‍රන්ථ කර්තෘවරයා මෙම නිර්මාණ විකිණීමෙන් ලැබෙන ලාභය මත සාමාන්‍ය පරිදි ආදායම් බදු ගෙවිය යුතු වේ.

එහෙත් චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ ග්‍රන්ථ නිර්මාණයක් ප්‍රදර්ශනය  කිරීමේ අයිතිය හෝ ප්‍රකාශන අයිතිය හෝ පමණක් පැවැරීම වෙනුවෙන් ගෙවන කර්තෘභාග මත 14%ක රඳවා ගැනීමේ බද්ද අය කරන බවද ඒ මහතා අනාවරණය කරයි. එහිදි තක්සේරු වර්ෂය අවසානයේදී දී ඉදිරිපත් කරන ආදායම් වාර්තාවේ මෙම රඳවා ගැනීමේ බද්ද සඳහා බදු බැර ලබාගැනීමට හිමිකම ඇති බවද කොමසාරිස් ජෙනරාල් සඳහන් කරයි.

නව ආදායම් බදු පනත ක්‍රියාත්මක වීම බලපානුයේ පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට බැවින් ඊට පෙර ගිවිසුම්ගත මුදල් ගෙවීම් කරන්නේ අප්‍රේල් 01 දිනට පසු දිනයක නම් එම මුදල් මත රඳවා ගැනීමේ බද්ද අඩු නොකළ යුතු බවත් එසේ අය කරගෙන ඇතිනම් එම මුදල් ආපසු ගෙවිය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.

මෙම බද්ද 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේද සඳහන් වූ බවත් එහිදි 10%ක බද්දක් අය වූ බවත් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ උපදෙස් දුන් බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර තිබේ.

නව දේශීය ආදායම් පනතට අනුව ඔවුන් මුහුණ දී සිටින තත්වය පිළිබඳව ටෙලි, සිනමා නිෂ්පාදකවරු ගණනාවක් විසින් පෙන්වාදුන් කරුණු මත ටෙලිනිස සහ ටෙලිවිෂන් වෘත්තීකයින්ගේ ජාතික සංගමය එක්ව මේ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නිලධාරීන් ඉදිරියේ මෙම ගැටළුව සාකච්ඡාවට බඳුන් කළ බවත් ඒ අනුව කලා නිෂ්පාදකවරුන්ගේ 14%ක රඳවාගැනීමේ බද්ද අහෝසියි කිරීමට තීරණය කළ බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn