08 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ආරම්භවීමෙන් අනතුරුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද(7) පළමුවරට රැස්වීමට නියමිතය.
8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය පසුගිය මැයි 8වන දා ආරම්භ වීමෙන් අනතුරුව කෝප් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කරගැනීමේ අවශ්‍යතාව මතුවූ අතර පැරණි කෝප් කමිටුවම යලි පත්කරගැනීමට පක්ෂ නායක රැස්වීමේ දී යෝජනා වී තිබුණි.
එහෙත් පසුගිය කෝප් කමිටු සාමාජිකයෙකුවන වීරකුමාර දිසානායක වෙනුවට ජයන්ත සමරවීර මහතා පත්කර ඇතැයි වාර්තා වේ.
අද පස්වරුවේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුව රැස්වන අතර එහි දී නව සභාපතිවරයෙකු තෝරාගැනීමට ද නියමිතය. පසුගිය කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතුකළ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යලි සභාපති ධූරයට පත්වෙතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය කෝප් කමිටුව මගින් මහ බැංකු බැදුම්කර වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් හෙලිකර ගැනීමට සමත්විය.
එමෙන්ම කමිටුවේ සියළු සාමාජිකයින් බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.










