බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ලිපියක් යොමු කර ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (01) විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කර තිබේ.
බැඳුම්කර සිදුවීමේදී මුදල් ලබාගත් පුද්ගලයින් 118 කගේ නම් ඇතුළත් ලේඛනයක් පිළිබඳ තමා දැනුවත් නොමැති බවත් බැඳුම්කර කොමිසමේ විමර්ශණයට අදාළ වාර්තාව තුළ නම් ලයිස්තු ගණනාවක් තිබෙන බවත් ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.
එම ලැයිස්තු කිසිවක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දේශපාලඥයින්ට, සමාගම්වලට හෝ පුද්ගලයින්ට දුන් මුදල් සම්බන්ධයෙන් ලයිස්තුවක් නොමැති බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
මේ සිදුවීම පිළිබඳ මේ වනවිටත් විවිධ අංශ මඟින් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවත් එම නිසා තමා මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් පතා නීතිපතිවරයාට සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි දෙකක් යොමු කළ බවත් එයට පිළිතුරු ලබා දෙමින් ඔවුන්ගෙන් ලිපි දෙකක් ලැබුණු බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී කියා තිබේ.
එම වාර්තාවල පරීක්ෂණවලට අදාළ සංවේදී කරුණු අඩංගු විය හැකි නිසා වාර්තා පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ලිපි මඟින් දන්වා තිබූ බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ලිපිය තමාට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන්ද උපදෙස් පතා මේ වනවිට නීතිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මන්ත්‍රීවරයා විසින් ඉල්ලුම් කරන ලද තොරතුරු ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.










